“සුදු හාමිනේ” (sudu hamine) by Raveesha Ruwanthi 

….ජීවිතය උගත්තේ ඔබගෙනි….

හන්තාන සිසාරා හමා ආ සිසිල් පවන් රැල්ලේ පහස ලත් මම වහා සයනයෙන් පිබිදුණෙමි. බිත්තියේ එල්ලා තිබූ පරණ ඔරලෝසුවේ දහවල් දොළහ පසු වූවා පමණි. සැබැවින්ම මම භාවනාවකට සමවැදුණාක් පරිද්දෙන් “ගැහැනු ළමයි” නවකතාව තුළටම කිඳා බැස සිටියෙමි. කියවමින් සිටි පිටුවෙහි එක් කොනක් සීරුවට නැවූ මම එය පොත් මේසය මත තබා ආලින්දයට පිවිසුණෙමි. අප්පච්චී ආලින්දයෙහි වූ සුව පහසු පුටුව මත දිගා වී පුවත්පතක් බලමින් සිටියේය. මම ඔහු අසලින් හිඳ ගත්තෙමි.

“සුදු හාමිනේ, දැන් ද නැගිට්ටේ?” අප්පච්චී සුපුරුදු ආදරණීය සිනාවෙන්ම විමසුවේය.

“මං නිදාගෙන නෙවෙයි හිටියෙ අප්පච්චි, පොතක් කියව කියව.”

“මං හිතුවෙ සද්දයක්වත් නැති නිසා නිදි කියලා. අන්න ලොකු තාත්තලා අද හවස එනවා කිව්වා.”

“ඇත්ත ද අප්පච්චි? කොළඹ ලොකු තාත්තලා අද එනව ද? හදිසියෙම ඇයි?”

“පොඩි පුතාගෙ විභාගෙත් ඉවර නිසා අත්තම්මත් බලන්න එක්කල එනව කිව්වා. දවස් දෙක තුනක් ඉඳී මයෙ හිතේ”

“අනේ අප්පච්චි! හරිම ෂෝක් නේ!”

අප්පච්චී පැවසූ දෙයින් මම උද්දාමයට පත් වීමි. මගේ සතුට නිම් හිම් නැති විය. තාත්තාගේ පවුලේ තාත්තාත්, ලොකු තාත්තාත් පමණි. ඒ නිසා තාත්තාගේ ඥාතීන් යැයි කීමට අපට සිටින්නේ ලොකු තාත්තා පමණකි. ඔහු විශ්‍රාම ලත් ගුරුවරයෙකි. අපේ අප්පච්චී විශ්‍රාම ලත් පොලිස් සැරයන්වරයෙකි. ලොකු තාත්තාට පුතුන් දෙදෙනෙකි. ලොකු අයියා හා පොඩි අයියා යැයි මම ඔවුන් අමතමි. ඔවුන්ට ද සහෝදරියකට සිටිනුයේ මා පමණකි. එම නිසා ඔවුහු ද අනෙක් සියල්ලන් ලෙසින් මට “සුදු හාමිනේ” යැයි ආමන්ත්‍රණය කරති. ලොකු අම්මා ද විශ්‍රාම ලත් ගුරුවරියකි. ඇය ද අප පවුල හා ඉතාමත් සමීපය. ලොකු අයියා උසස් පෙළ ඉතා හොඳින් සමත් ව ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා විදෙස් රටක විශ්වවිද්‍යාලයක නේවාසිකව නැවතී දෑ අවුරුද්දක සිට අධ්‍යාපනය හදාරන්නේය. පොඩි අයියා මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. මම ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්නෙමි. දැන් මට සවස් වන තුරු ඉවසුම් නැත.  මේ අතර මගේ දෙපා නිරායාසයෙන් ම මුළුතැන්ගෙට ඇදී යන්නට විය.

“කොහොමද අම්මා මේ තරම් රසට උයන්නෙ? මං මේ සුවඳ පස්සෙන් ආවෙ! කෝ මටත් දෙන්නකො රහස් වට්ටෝරුව”

තනිව මුළුතැන්ගෙයි අහර පිසිමින් හිඳි අම්මා මගේ ප්‍රබෝධවත් හඬින් තිගැස්සුණාය.

“ආ….සුදු හාමිනේ, බඩගිනි ද?”

ඇය සිනහ මුසු මුවින් විමසුවාය. මුළුතැන්ගෙට ඇතුලු වන දොර උළුවස්සට බර වෙමින් මම අම්මාට පිළිතුරු දුනිමි.

“නෑ අම්මා. මං නිකම් ආවෙ. අම්මා තනියම ද? සෝමා කොහෙ ගිහින් ද?”

“සෝමා වත්ත පහළට ගියා කතුරුමුරුංගා කොළ ටිකක් කඩාගෙන එන්න. අප්පච්චිත් මනාපයිනෙ කතුරුමුරුංගා මැල්ලුමට. ඔන්න අද ලොකු තාත්තලත් එනවා කිව්වා. ”

“මට අප්පච්චි කිව්වා අම්මා. මං අම්මට උයන්න උදව් කරන්න ද?”

“එපා පුතේ. දැන් සෝමා ඒවිනේ. අනිත් ජාති හදලා ඉවරයි. කතුරුමුරුංගා මැල්ලුම විතරයි හදන්න තියෙන්නෙ. මං උයලා කතා කරන්නං. ඔයා ගිහින් පාඩම් වැඩක් කරගන්නකො. ”

මම කාමරයට ගියෙමි. මගේ සිතෙහි අලුත උපන් සතුටකි. පසුගිය සිංහල අලුත් අවුරුද්දෙන් පසු ලොකු තාත්තලා හා අපි හමු නොවීමු. දැන් අවුරුද්ද ගෙවී හමසක් පමණ නික්ම ඇත. මට වඩාත්ම ප්‍රීතියක් ඇති වූයේ පොඩි අයියා එන බැව් දැනගත් විටය. කුඩා කල පටන්ම අපි තිදෙනා ඉතාමත් ළඟින් ඇසුරු කළෙමු. ඒ දවස්වල ලොකු තාත්තලා ද ගමේ පදිංචි වී සිටි නිසා නිතරම අපි එකට හිඳිමු. ඒ කාලයේ සිට අයියලා මට “සුදු හාමිනේ” කීවාට අමතරව ආදරයට “සාරා” යනුවෙන් ද කීහ. මගේ නම “සාරන්‍යා” ය.   “සාරන්‍යා මන්දස්මි” ය. පාසලේ මිතුරු මිතුරියන් හැර අනෙක් අය මට  “සාරා” යැයි නොකීහ. එහෙත් පොඩි අයියා මට “සාරා” ලෙසින් ද ඇතැම් විට කියන්නේය. ලොකු තාත්තාට කොළඹ පාසලකට මාරුවීමක් ලැබුණු පසු ලොකු අම්මා ද එම පාසලටම මාරුවීමක් ගෙන අයියලා ද සමඟ කොළඹ පදිංචියට ගියහ. ඒ වන විට මට වයස දොළහ පසුවූවා පමණි. අයියලා සමඟින් එකට පාසල් යමින්, එකට සෙල්ලම් කරමින්, ඇළේ, දොළේ, වෙල් ඉපනැල්ලේ ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් කල් ගෙවූ මට ඔවුන් කොළඹ ගිය පසු ඇති වූයේ කිසිදා නොවිඳී හුදකලා බවකි. එයට වැඩි වශයෙන්ම හේතු වන්නට ඇත්තේ මටයි කියා කිසිදු සහෝදර සහෝදරියක නොසිටීම විය හැක. එතැන් සිට අවුරුද්දක් පාසා සිංහල අලුත් අවුරුද්ද එන තුරු මඟ බලා සිටින්නට මම පුරුදු වීමි. කාලයත් සමඟ අපි වයසින් වැ‍ඩුණෙමු. ඒත් සමඟම ලොකු අයියා විදේශ ගත විය. සැබැවින්ම කුඩා කල සිට මට වඩාත් සමීප වූයේ පොඩි අයියාය. ලොකු අයියාට වඩා පොඩි අයියා පිළිබඳ මසිතෙහි තිබූ හැඟීම සුවිශේෂී විය. නැවතත් පොත අතට ගත් මම පොත් මේසය අසල තිබූ පුටුව මත හිඳ ගත්තෙමි. එවිට මට මතක් වූයේ අත්තම්මාගේ බෙහෙත් වේලාවය. අද අම්මාට වැඩ අධික බැවින් ඈට කරදර නොකර සිටීමට මම වග බලා ගතිමි. මේ අනුව අත්තම්මාට බෙහෙත් තෝරා දීමට මම ඇගේ කාමරයට ගියෙමි.

බණ පොතක් කියවමින් ඇඳෙහි වැතිර සිටි අත්තම්මා මා එනු දැක නැඟී සිටින්නට උත්සාහ කළාය. මම දිව ගොස් ඇය වළක්වා, ඇඳෙහි ඇය අසලින්ම හිඳ ගතිමි.

“අත්තම්මා, බෙහෙත් වෙලාව හරි නේද?”

“සුදු හාමිනේ, මට ඒක අමතකම වෙලා ගියා. වෙනදාට අම්මා මතක් කරනවනේ.”

“අද අම්මට වැඩනෙ අත්තම්මෙ. ඇයි හවස ලොකු තාත්තලත් එනව කිව්වෙ. මම අද අත්තම්මාට බෙහෙත් ටික දෙන්නම්.”

මම අත්තම්මාට බෙහෙත් ටික තෝරා දුන්නෙමි. ඈ ඒවා එක අහුරට ගිල දැම්මාය. සැබැවින්ම ඈ දැන් වියපත්ය. ඇගේ ස්වරය පවා දුබලය. අත්තම්මාට දැන් වයස අවුරුදු අසූවක් පමණය. කොතෙක් වයස වුව ද ඈ තවමත් සිතින් තරුණය. එය මම හැමවිටම අගය කරන්නෙමි. සෑම පුරපසළොස්වක දිනයකටම නොවරදවා පෙහෙවස් සමාදන් වන ඈ පින් දහම් කෙරෙහි අපමණ ආශාවක් දක්වන්නීය.

දහවල් ආහාරයෙන් පසු මම පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ පුහුණුවීම් සඳහා පාසලට ගියෙමි. අද සෙනසුරාදා වුව ද විවිධ ප්‍රසංගයට තව ඇත්තේ එක් දිනයක් පමණක් නිසා පුහුණුවීම් සඳහා නිවාඩු දිනයන්හි වුව ද පාසලට යාමට සිදු විය. මම එහි නිවේදන කටයුතු කරන්නෙමි. මා සමඟ යාමට මගේ හොඳම මිතුරිය වූ හසිනි පැමිණියාය. ඇය එහි නර්තන කටයුතු සඳහා සම්බන්ධ වන්නීය.

පුහුණුවීම් අවසන්ව නිවසට පැමිණි මම ඇඟ සෝදා රතු පැහැ මල් ඉහිරුණු සුදු පැහැ ගවුම ඇඳ ගත්තාය. එය පසුගිය සිංහල අලුත් අවුරුද්දට අම්මා මා වෙනුවෙන් මසා නිම කළ ඇඳුමය. මගේ ඇඳුම් අම්මා විසින්ම මට සකස් කර දෙන්නීය. ඈ ගෙදර දොරේ වැඩපළ පමණක් නොව මැහුම් ගෙතුම් ද හොඳින් දන්නීය. මම ද ඇගෙන් බොහෝ දේ ඉගෙන ගන්නෙමි. ඒ ගවුමට මා ඉතා ලස්සන යැයි බොහෝ දෙනා කියා ඇත. කුඩා බෝරිච්චි අත් දෙකක් හා ඉනට රැළි පටියක් සහිතව නිම කර තිබූ ඒ ගවුම චාම් එහෙත් සිත්කළු වූවකි. ගවුම හැඳ කොණ්ඩය පිටුපසට කර තනි කරලක් වන ලෙසට මම ගොතා ගත්තෙමි. මගේ කොණ්ඩය ඉනෙන් පහළට ද ඇත. එය මට දෙවියන්ගෙන් උරුම වූ දායාදයක් යයි මම සෑමවිටම සිතමි. වේලාව සවස හය පමණ විය.

මෝටර් රථයක් අප ගෙමිදුලෙහි නැවැත්වීය. එහි හඬ ඇසෙනවාත් සමඟ ම අම්මාත්, අප්පච්චිත් ආලින්දයට පැමිණියහ. රතු පැහැ මෝටර් රියෙන් බසිනු ලැබුවේ ලොකු තාත්තා, ලොකු අම්මා සහ පොඩි අයියාය. අම්මා මහත් සොම්නසින් දෑත් එක් කොට “ආයුබෝවන්!” යැයි ඔවුන් සුහද ලෙස පිළිගත්තාය. මම ද ලොකු තාත්තාට හා ලොකු අම්මාට වැඳ ආශිර්වාද ලබා ගත්තෙමි. පොඩි අයියා ද අපේ අම්මාට හා අප්පච්චීට වැන්ඳේය. ලොකු අම්මා මට හරි ආදරේය. ඔවුන්ට දියණියක් නොසිටීම ගැන ඔවුහු දැඩි කනස්සලු වූහ. එහෙත් ලොකු තාත්තා නම් කීවේ,

“සුදු හාමිනේ ඉතිං අපේම දුවනේ” ලෙසයි. ලොකු අම්මා මදෙස බලා,

“සුදු හාමිනේ තවත් හැඩවෙලා” ලෙස පැවසුවාය. පොඩි අයියා එවිට මදෙස හොරැහින් බැලුවේය. මම ඔහු හා සිනාසුනෙමි. ඔහුගේ දීප්තිමත් දෑස මා දෑස් මත ගැටද්දී, සියුම් හිරිවැටීමක් මසිත තුළ හට ගන්නට විය. පසුව නිවස තුළට ගොඩවැදුණු අපි සතුටු සාමීචියෙහි යෙදෙමු. ඔවුහු මුලින්ම අත්තම්මාගේ සුව දුක් විමසීමට ඇගේ කාමරයට ගොස් ඈ හා තොරතුරු කතා කරන්නට වූහ. ඒ අතර මමත්, අම්මාත් තේ මේසය පිළියෙල කළෙමු. ලොකු අම්මා මුළුතැන්ගෙට අප සොයා පැමිණියාය.

“නංගී, අම්මා මෙහෙ හරි සතුටින්නේ ඉන්නෙ? දැන් නම් ටිකක් මහත් වෙලත් එක්ක. මම හිතන්නෙ හිතේ සතුටට” ලොකු අම්මා තම අව්‍යාජ සිතැඟි කියාපෑවාය.

“අනේ ඔව් අක්කේ! කෑම ටික, බෙහෙත් ටික ඉතිං වෙලාවට මං හදල දෙනවනේ. මං නැතත් සුදු හාමිනේ ඒ ටික කරනවා.” අම්මා පිළිතුරු දුන්නාය.

“සුදු හාමිනේ, දැන් පාඩම් කරනවා නේද?”

ලොකු තාත්තා මුළුතැන්ගෙට පැමිණියේ ඒ පැනයත් සමඟිනි.

“ඔව් ලොකු තාත්තේ” මම සිනාසෙමින් කීමි.

“අපේ පොඩි පුතා නම් නිතරම සුදු හාමිනේව මතක් කරනවා. අයියත් ගියාට පස්සෙ කොල්ලා තනිවුණා.” ලොකු තාත්තා තවදුරටත් පැවසීය. මහත් සංවේගයකින් මසිත පිරී යන්නට විය. බිමට හෙලා ගත් දෑසින් යුතුව නිමේෂයක් මම කල්පනාවට වැටුණෙමි. ලොකු තාත්තා තව බොහෝ දේ පවසනු මට ඇසේ. නමුදු ඒ මොනවාදැයි මට පැහැදිලි නැත. මම මඳ විරාමයක පසුවුණෙමි.

“තේ ලෑස්ති කරලා ඉවරයි. සුදු හාමිනේ, ගිහින් පොඩි අයියාට එන්න කියන්න තේ බොන්න.” අම්මා කීවාය. දැහැන බිඳී මම පියවි ලොවට පිවිසුණෙමි.

මම ඔහු සොයා ආලින්දයට ගියෙමි. ඔහු එහි නැත. මම ගෙමිදුලට යන විට ඔහු එහි සක්මන් කරමින් සිටියේය.

“පොඩි අයියා, මොකෝ මේ? රහත් වෙලා ද?” මගේ හඬින් ඔහු තිගැස්සුණි.

“ආහ්…..සුදු හාමිනේ, මම වෙන කල්පනාවකනෙ හිටියෙ.” මොහොතකට මා ගොළු කරන ඒ දීප්තිමත් දෑස මා දෑස මත ම රඳවමින් හේ කීය. මම වෙනතකට හැරෙමින්,

“පේනවා පේනවා වෙන කල්පනාවක ඉඳියෙ කියලා. දැන් සෑහෙන දේවල් තියනවා වගේ නේ කල්පනා කරන්න…” මම බොරු නෝක්කාඩු කීමට සැරසුණෙමි.  නමුදු මෙලෙසින් හෝ ඔහු ළඟින් හිඳින්නට ලැබීම මට සහනයක්ම විය.

“අනේ මැණිකෙ ඉතිං!” හේ මගේ කොපුලක් සියතින් සියුම්ව ස්පර්ශ කළේය. ඒත් සමඟම කතාව වෙනතකට ගලා යන්නට විය.

“තව වැඩි කාලෙකුත් නෑ නේද විභාගෙට? ඔන්න හොඳට වැඩ කරලා ඉහළින්ම පාස් වෙන්න ඕනෙ හොඳේ.” පොඩි අයියා දයාබරණීය ලෙස මගේ හිස පිරිමදිමින් කීවේය. ඔහුගේ සෙනෙහස හමුවේ මා කුඩා ළදැරියක මෙනි. මට සියල්ල අමතක විය. දැන් මෙහි සිටින්නේ ඔහුත්, මාත් පමණක්ය යන හැඟීම පමණක් මසිතෙහි විය.

“ පොඩි අයියා හරි නරකයි. මට ටෙලිෆෝන් කළේවත් නෑ. මං බලාගෙන හිටියා. හැමදාම මතක් කළා.” මට හැඬුම් පිටවන්නට ආසන්නය. මම ආයාසයෙන් එය වළක්වා ගන්නට තැත් කරමින් නිහඬ වුණෙමි. නැතිනම් විශාල හැඬුමක් මා මුවින් නික්මෙනු නොඅනුමානය.

“අනේ සාරා! පහුගිය දවස්වල නම් විභාගෙ වැඩ තිබුණා. ඔන්න දැන් තමයි හිතට නිදහසක් ආවෙ. විභාගෙත් ඉවර නේ. හරි මං දැන් ආවා නේ. මං ගමේ ආවෙ ඔයත් එක්ක කතා කරන්න තමයි.” පොඩි අයියා සැනසුම් සුසුමක් හෙළමින් කීය.

“දැන් මට වැඩ. මගේ විභාගෙ තාම ඉවර නෑනෙ.” මම එක්වරම කියා දැමුවෙමි.

“ආහ්….ඇත්තද? එහෙනම් මම යන්න ද?”

“කැමැත්තක්” මම එලෙස පවසා මඳක් ඈතට ගොස් රෝස පඳුර ළඟ නතර වීමි. පොඩි අයියා ද මා පසුපසින් පැමිණ රෝස පඳුර ළඟ නතර වීය. රෝස මල් කිහිපයක් පිපී තිබූ රෝස පඳුර දෙසත් මගේ මුවඟත් මාරුවෙන් මාරුවට බලමින් හේ මෙසේ පැවසීය.

“ඇත්තමයි සාරා, ඔයා දැන් වෙනදටත් වඩා හුඟක් ලස්සන වෙලා.” පොඩි අයියා ආදරණීය ස්වරයෙන් කීය. ගල් කරගන්නට සිතූ මහද වෙඬරු මෙන් උණු වන්නට විය. මම වෑයමෙන් ඔහු දෙස නොබලා හිඳියෙමි.

“ඔහොම බුම්මනකොට නම් ඒ ලස්සන නැතිවෙලා යනවා ඉතිං” හේ තවදුරටත් සිනා සී ගත් වනම මදෙස බලා හිඳී. මට ද සිනා පහළ විය.

“අනේ යන්න! දැන් බොරුවට බටර් ගානවා. එහෙ ඉන්දෙද්දි මතකවත් නෑ”  මෙතෙක් ඉවත බලා හිඳි මම ඔහු වෙත හැරෙමින් කීමි.

“හරි හරි. මං වැරැද්ද පිළිගත්තා. දැන් ඉතිං නවත්තන්න. මං මෙහෙ ආවෙ ඔහොම රණ්ඩු කරන්න නෙවෙයි.”

“හරි නැවැත්තුවා” මම සිනාසෙමින් කීමි. මට මහත් සැහැල්ලුවක් දැනුණි. හද පතන සැනසුම මෙයම නොවේදැයි මට හැඟෙන්නට විය. තවදුරටත් ඒ සැනසුම ලබමින් මොහොතක් දෙනෙත වසා හිඳින්නට මට සිතුණි. පැමිණි කාර්යය මතකයට නැඟුණේ එවිටය.

“අයියෝ! දැන් නෙ මතක් වුණේ. අම්මා ඔයාට තේ බොන්න එන්න කියන්නයි කියලා මාව එව්වේ. අමතකම වුණානෙ ඒක. යමු යමු නේද ඉක්මනට” අපි දෙදෙනාම තේ බොන්නට ගියෙමු.

………………………………………………………………………………………………………

සැඳෑ හිරු අවරට යන විට අපේ ගම අත්‍යන්තයෙන් ම චමත්කාරය. හිරුගේ කාන්තිමත් රැස් දහර හන්තාන කඳු පාමුල සිප ගන්නා විට මුලු ගම් පෙදෙස ම ආලෝකවත් වේ. ලොකු තාත්තා හා අප්පච්චී සාලයට වී සුහද කතාබහකය. ඔවුන් දෙදෙනා එක් වූ කල කතා කරන්නේ ම “රට යන අත” ගැනය. බඩු මිල, උද්ධමන අනුපාතය, ආර්ථිකය මේවා ඔවුන්ගේ ප්‍රියතම තේමාවන්ය. අම්මා ලොකු අම්මා සමඟ මුළුතැන්ගෙයි රාත්‍රී ආහාර සූදානම් කරමින් සිටියාය. පොඩි අයියා වත්ත පහළ ළිඳට ගොස් ඇඟ සෝදා පැමිණියේය. මම බුදුන් වඳින්නට මල් නෙලමින් සිටියෙමි. සුදෝ සුදු පැහැ පිච්ච මල් වට්ටිය පිරෙන තුරු මල් නෙලූ මම නැවත ගෙතුළට එන විට පොඩි අයියා මට කතා කළේය. මම බුදුන් වැඳ ආලින්දය වෙත ගියෙමි. පොඩි අයියා මට කතා කොට අසුනක් පෙන්වීය. මම එහි ගොස් ඔහු අසලින්ම හිඳ ගත්තෙමි.

“අපේ ඉස්කෝලෙ ඇනුඅල් කොන්සර්ට් එක හෙට තියෙනවා. මම ඒකෙ නිවේදනය කරනවා.” මම කතාව ඇරඹුවෙමි.

“මමත් එන්න ද ඒක බලන්න?” බලාපොරොත්තුවක් මසිත දවටමින් හේ ඇසීය. සියුම් ප්‍රීතියකින් මහද පිනා යන්නට විය.

“ඔයාට පුලුවන් නම් එන්න. ඇත්තටම ඒක ලොකු විනෝදයක් වේවි.” ප්‍රීතියෙන් පිනා ගිය හදින් යුතුව මම කීමි.

“මම අනිවාර්යයෙන්ම එනවා. ඔයා ඉන්නවා නම් මම නෑවිත් කොහොම ද? අපි දෙන්නටම එකට යන්න පුලුවන් නේ ද හෙට එතකොට?” බලාපොරොත්තු දල්වා ගත් දෑසින් යුතුව පොඩි අයියා අසන්නට විය.

“මට උදෙන් යන්න වෙනවා. එතන අනිත් වැඩ ගැනත් බලන්න ඕනනේ. පොඩි අයියා ටිකක් නිදාගෙන දවල් වෙලා අම්මලත් එක්ක එන්න.”

“මමත් උදෙන් එන්නම්. ඔයාට උදව් කරන්න.ගෙදර හිටියත් නිකම් ඉන්න එකනේ.”

“ඔයාට කරදරයක් නැත්නම් කමක් නෑ.” අපේක්ෂා සපිරුණු හදින් මම කීමි. ඔහු මදෙස බලා සිනාසීය. මෙතෙක් වේලා පිටතට මතුවන්නට තතනමින් සිටි ආයාසයෙන් සඟවා ගත් අපමණ වූ සන්තුෂ්ටිය මුසු ප්‍රේමාන්විත හැඟුමන්, ඔහුගේ දෑසින්, ඔහුගේ වදනින් උතුරා ගලා යන ප්‍රේමය හමුවේ තවත් සිරකර හිඳීමට මට අපහසු විය. ඔහු මදෙස සිනාසී ගත් වනම බලා හිඳී. අප අතර මඳ නිහඬතාවයකි. ඔහු සිනාසෙන විට තවත් කඩවසම් යැයි මට සිතුණි. කුඩා කල මා සමඟ කෙළි දෙළෙන් ගත කළ පොඩි අයියා දැන් කඩවසම් ඉලන්දාරියකු වී ඇත. එය මට නුපුරුදුය. එහෙත් ඔහුගේ ගති ගුණ නම් තවමත් කුඩා කල පරිදිය. ඒ මෘදු මොළොක් සිතුම්, ළතෙත් ළය අදටත් එලෙසමය. තල එළළු පැහැයට හුරු පැහැපත් සමක් ඔහුට හිමිය. පැත්තට පීරා තිබූ කෙටි කොණ්ඩයත්, සිහින් සිනාවත් නිසා ශාන්ත බවක් ඔහු කෙරෙන් දිස් විය. නෙත ගැටෙන කවරෙකුගේ වුවත් සිත මන බඳින අන්දමේ රුවක් ඔහු සතු විය.

“එහෙ ඉන්දෙද්දි මට ඔයාව නිතරම මතක් වෙනවා සුදු හාමිනේ” නිහඬ බව බිඳිමින් පොඩි අයියා කතා කළේය.

“බොරු කියන්න එපා පොඩි අයියා, එහෙ ඇතිනෙ ඔයාට හුඟක් යාළුවො. එයාලා එක්ක ඉන්නකොට ඔයාට මාව මතක නෑ. මං දන්නවනේ ” මම කීමි.

“මට කවදාවත් ඔයාව අමතක වෙන්නෙ නෑ සුදු හාමිනේ. ඔයා කොහොමද එහෙම හිතන්නෙ? ඔයා තමයි මගේ එකම නංගි. ඉතිං කෙහොම අමතක වෙයිද? අනික…” පැවසීමට ගිය දෙය හේ නවතා ගත්තේය.

“අනික…ඔව් කියන්න පොඩි අයියා. මම කැමතියි ඒකත් දැන ගන්න” මම හූමිටි තැබූවෙමි.

“ඒක ඔයා දන්නවා සුදු හාමිනේ. මං වචනෙන් නොකිව්වත් ඒක ඔයාට දැනෙනවා ඇති. මං ඒක කියන්නම්. ඉක්මනින්ම…. ඒත් දැන්ම නෙවෙයි. මේ ඒකට වෙලාව නෙවෙයි සුදු හාමිනේ. ඔයා හොඳින් විභාගෙ කරගන්නකෝ” පොඩි අයියා කීය.

“ලොකු අයියා හොඳින් ඉන්නවා නේද පොඩි අයියා?” කතාව තරමක බැරෑරුම් සෙයක් ගන්නා හෙයින් මම එය වෙනස් කළෙමි.

“අයියා හොඳින් ඉන්නවා සුදු හාමිනේ. එයා තව අවුරුදු දෙකකින් එනවා. එතකොට එයාගෙ උපාධිය සම්පූර්ණයි.”

“අහන්නත් සතුටුයි. පොඩි අයියාත් ප්‍රතිඵල ආවම පිටරට යනවද?” මඳක් බිමට නැඹුරු කරගත් හිසින් යුතුව මම ඇසීමි.

“එහෙම තමා හිතාගෙන ඉන්නෙ. ඒත් මට ඒක කරන්න බැරි වෙයි” හේ කීය.

“ඒ ඇයි?” පෙර පැවති දුක්බර ලීලාව මා කෙරෙන් පහ විය. දෙනෙත් ඔහු මත රඳවමින් විස්මයෙන් මම ඇසීමි.

“යන්නෙ කොහොමද හිත හදාගෙන? අවුරුදු හතරක් තනියෙන් ඉන්නෙ කොහොමද? අම්මා, තාත්තා, ඔයා නොදැක.” සසල වූ ස්වරූපයකින් හේ කීය.

“අම්මයි, තාත්තයි එක්කන් යන්න”

“ඔයත් එනවද?” මුව මත ඇඳුණු සුන්දර සිනාව සමඟින් ඔහු විමසීය.

“අපෝ බෑ. මං කවදාවත් අම්මයි, අප්පච්චියි දාලා යන්නෙ නෑ.” සුරතල් සිනාවක් පාමින් එසේ කියූ මම මුළුතැන්ගෙට දිව ගියෙමි.

එදා රාත්‍රිය ඉතා නිස්කලංක විය. එහෙත් මට නම් නින්දක් නැත. දිගින් දිගටම හෙට පැවැත්වෙන විවිධ ප්‍රසංගය මට සිහිපත් වන්නට විය. ඒ පිළිබඳ සිතමින් සිටි මම නින්දත් නොනින්දත් අතර කල් ගෙවූවෙමි. මුලු රාත්‍රියම එසේ ගෙවී ගියේය.

………………………………………………………………………………………………………

උදෑසන පිබිදී මම වහා මුව දොවා ගතිමි. අම්මා මා එදිනට සැරසීමට නියමිතව තිබූ ඇඳුම පෙර සිටම සකස් කර තිබුණාය. එය ඔසරියකි. ක්‍රීම් පාටට හුරු වූ එය අත්‍යලංකාර වූවක් විය. මා ඉන් සැරසුණ විගස අම්මා මගේ කොණ්ඩය සැකසුවාය. පොඩි අයියා උදෑසනින්ම පිබිද සූදානම් වී පැමිණියේය.

“වාව් සුදු හාමිනේ! අද නම් ප්‍රින්සස් කෙනෙක් වගේ” එසේ පවසමින් පැමිණි පොඩි අයියා මට ඇහැක් ගැසීය.

“ඇත්තටම මම ලස්සන ද අම්මා?” පොඩි අයියාගේ අව්‍යාජ ප්‍රතිචාරයෙන් මසිත පිරී යන්නට විය. එය තවත් සනාථ කරගැන්මට මෙන් මම අම්මාගෙන් මෙසේ ඇසීමි.

“හ්ම්…..මම කිව්වනේ මේක සුදු හාමිනේට ලස්සනට තියේවි කියලා.” ඔසරියේ රැළි කිහිපයක් අතගාමින් අම්මා කීවාය.

“පොඩි පුතේ, ඔයා නංගි ළඟින්ම ඉන්න හොඳේ. අද පිට අයත් එනවනේ. මම දවල් වෙලා ඔයාලගෙ අම්මලා එක්කම එන්නම්. ” පොඩි අයියා දෙසට හැරී එලෙස පැවසූ අම්මා මදෙසට හැරී,

“සුදු හාමිනේ, පරෙස්සම් වෙන්න හොඳේ” ලෙස කීවාය.

“හරි අම්මා…..පොඩි අයියත් ඉන්නවනේ” සැබැවින්ම ඔහු මා අසල හිඳීම මට සවියක් මෙන් විය. මට මහත් රැකවරණයක් දැනුණි. එය මාගේ අවංක හැඟීම විය. එබැවින් මම මුව පුරා සිනා සී එසේ කීවෙමි.

“හරි එහෙනම් දැන් යන්න. පරක්කුත් වෙනවනේ.”

අම්මාට වැඳ මම දිවගොස් අප්පච්චීටත්, අත්තම්මාටත්, ලොකු තාත්තාටත්, ලොකු අම්මාටත් වැන්ඳෙමි. ඉන්පසු පොඩි අයියා සමඟ නික්මුණෙමි.

……………………………………………………………………………………………………..

විවිධ ප්‍රසංගයේ  වැඩ කටයුතු සාර්ථක ව නිම විය. ඉන් පසු මට බොහෝ ප්‍රශංසා ගලා ආ අතර, බොහෝ දෙනෙකු මාගේ රූපය හා නිවේදන හැකියාව අගයන්නට විය. ඊළඟ දින දෙක තුන මේ සියල්ලත් සමඟ ඉතා ඉක්මනින් ගෙවී ගිය අතර, ලොකු තාත්තලා යන දිනය ද ඉක්මනින් උදා විය.

“අයියේ, තව දවස් දෙක තුනක් ඉඳලම ගියා නම්…..” අප්පච්චී කියන්නට විය.

“එහෙම කරන්න තිබුණා මල්ලියෙ. ඒත් මේ ළමයගෙ පන්තියෙ යාළුවො චාරිකාවක් යන්න ලෑස්ති කරගෙන නේ අද රෑට. දැන් ඉතිං විභාගෙත් ඉවර නිසා.”

“එහෙම දෙයක් නම් ඉතිං ඒ ගැනත් හිතන්න එපාය අපේ මහත්ත්තයා”  එලෙස පවසමින් අම්මා ද කතාවට එක් වූවාය.

“අපි ආයෙ එන්නම්කො නංගි. කෝ මේ පුතා! පොඩි පුතා…..” පිටත් වීම සඳහා සූදානම්ව ඉස්තෝප්පුවට සියල්ලන් ම පැමිණි අතර ලොකු අම්මා පොඩි අයියා සොයන්නට විය.

පොඩි අයියා සහ මම අප කුඩා කල සෙල්ලම් කළ වෙල් ඉපනැල්ලට ගොස් එහි තාලයට ලෙළදෙන නිල්වන් ගොයම් කරල් දෙස නෙත් යොමාගෙන උන්නෙමු. ඔහු කිසිවක් කතා නොකළේය. මා ද එසේය. කිසිවක් කීමට මට ශක්තියක් නොවීය. කියන්නට තැත් කළහොත් හැඬුම් පිටවන බව මම දැන සිටියෙමි. එබැවින් මුණිවත රැකගෙන මම හිඳියෙමි. මෙසේ අප අතර  මිනිත්තු කිහිපයක හුදකලා බවකින් අනතුරුව ඔහු කතාව ඇරඹුවේය.

“සුදු හාමිනේ, මම එහෙනම් යන්නම්”

“හා” හැඬුම්බර ස්වරයෙන් මම කීමි.

“ඔයා තරහ වුණා ද?” ඔහුගේ හඬෙහි සැලෙන බව මහද දවන්නට විය.

“අවුරුද්දකට වතාවක් එනවා. දවස් තුන හතරක් ඉඳලා යනවා” මම සිත් පිත් නැත්තියක සේ එකහෙළා කියා දැමුවෙමි.

“අනේ සුදු හාමිනේ! ඇත්තමයි මේ වතාවෙ නම් මම හුඟක් දවස් නවතින්න හිතාගෙනයි ආවෙ. ඒත් ඊයෙනේ යාළුවො කෝල් කරල ට්‍රිප් එක ගැන කිව්වෙ. ඉතිං බෑ කියන්නෙ කොහොම ද? අනික මං කිව්වනෙ ඉතිං මම ගමේ ඉන්නෙ කියලා. ඒත් එයාලා වද කරලම කිව්වනෙ එන්න කියලා. මොකද කරන්නෙ ඉතිං! ඔයත් දැක්කනෙ සුදු හාමිනේ. කලින් දැනගෙන හිටියා නම් ඇත්තමයි තව පහුවෙලා එනවා.” ඔහුගේ අසරණභාවය දුක්බර දෑසින් මට වැටහුණි. නිතර එහි තැවරී ඇති දීප්තිමත් බව මෙවේලේ මා දුටුවේ නැත. ඒ වෙනුවට එහි තිබුණේ ශෝකයත්, කනගාටුවත්, පසුතැවීමත් පමණි.

“කමක් නෑ පොඩි අයියා. මං තරහ නෑ. ඔයා පරෙස්සමින් ට්‍රිප් එක යන්න. ගිහින් ඇවිත් මට කෝල් එකක් දෙන්න විස්තර කියලා. බුදු සරණයි ඔයාට!”

“මම ඔයාව බලන්න ඉක්මනින්ම ආයෙ එනවා සුදු හාමිනේ. කවදාවත් මම මගේ නංගිව අමතක කරන්නෙ නෑ.”  අවසාන වශයෙන් ඔහු මට බලාපොරොත්තුවක් දුන්නේය.

“අපි දැන් යමු ද? හැමෝම බලනව ඇති අපි කෝ කියලා” දෙනෙතින් රූරා ගලන කඳුළු කැට දෑතින් පිසලමින් මම කීමි.

“දුක් නොවී ඉන්න ඕනෙ හොඳ ද? මට පොරොන්දු වෙන්න අඬන්නෙ නෑ, හොඳට පාඩම් කරනවා කියලා” පොඩි අයියා ඔහු සුරත මා හිස මත තබමින් පැවසීය.

“හරි. එහෙම කරන්නම්” අවසන් මොහොතේ තවත් ඔහු සිත පාරනු නොහී මම එකඟ වීමි. හේ මගේ අතකින් අල්ලා ගනිමින් පෙරට පය තැබීය. ඒ රළු අතෙහි ස්පර්ශය මා ආත්මයම සීතල කරන්නාක් මෙන් මට දැනුණි.

ලොකු තාත්තලා නික්ම ගියහ. එදින සවස් වරුවම කිසියම් තෝන්තු ස්වභාවයකින් මහද පෙළෙන්නට විය. පාඩම් වැඩක් කිරීමටවත් සිත එක්ලස් කර ගැනීමට මට අසීරු විය. පොත් මේසය අසල හිඳගෙන මඳ කල්පනාවක නිමග්නව සිටි මගේ සිතට එක්වරම සිතුම් වැලක් පැමිණුනි. දිනපොත රැගෙන මම එය මෙලෙස සටහන් කළෙමි.

ඔබේ රුව දකින්නට

පෙරුම් පුරනා මහද

මොහොතකට සැනසෙන්න

වරක් මා වෙත එන්න

 

දෙනෙත් අබිමුව මැවෙන

ඔබේ ඒ රුසිරු වත

යළිත් දැක ගනු රිසිව

තැවෙයි හද නිරන්තර

 

ඔබේ සුව දුක් නොදැන

මා සිටින්නේ කෙලෙස

නූල් බෝලයකි අද

දසත පැටලුණු මසිත

 

එක හිතක් පතාගෙන

මඟ බලා හිඳීම ද

සැබවින්ම අසීරුය

උගත්තෙමි එය සොඳින

 

මතකයට නැගෙන විට

දරාගෙන සිටීමද

හදට නැගෙනා හැඟුම්

පෙළාගෙන හිඳීමද

වේදනා මධ්‍යයේ

සිනා සී හිඳීමද

ප්‍රේමයෙදි අසීරුය

සටනක්ය එය නිබඳ

 

උගත්තෙමි ඔබෙන් මේ

සියල්ලම මෙමා අද

මුව ගොළුව ඇත මෙදින

නිහඬ වී හිඳිමි මම

 

එහෙත් පැතුමක්ය එක

හදෙහි දැල්වී තිබෙන

ඉටුවේද නොම දනිමි

නමුදු මඟ බලමි මම

……………………………………………………………………………………………………..

ඊට දින දෙකකට පසු රාත්‍රියේ අප නිවසේ දුරකථනය නාද විය. කතා කළේ ලොකු අම්මාය. පොඩි අයියා හදිසි අනතුරකට ලක් ව ඇති බව ඈ කීවාය. ඔවුන් චාරිකාව ගොස් එන විට පැමිණෙමින් සිටි වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙය සිදුව ඇත. ඔහු සමඟ ගිය තවත් තිදෙනෙකු මිය ගොස් ඇත. ලොකු අම්මා හඬමින් මේ සියල්ල ප්‍රකාශ කරන විට මට ද හැඬුණි. කිසිවක් සිතා ගත නොහැකි විය. කුඩා කල මා හා කෙළි දෙළෙන් ගත කළ මාගේම සොහොයුරා මට අහිමි වේවි ද? ඔහුට ඉතා අසාධ්‍ය බව ලොකු අම්මා පැවසුවාය. අපි වහා එදින රාත්‍රියේම අප්පච්චිගේ මෝටර් රියෙන් කොළඹ ගියෙමු. කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය අසල ලොකු අම්මා හා ලොකු තාත්තා සිටගෙනය. අපේ අම්මා දුටු විට ලොකු අම්මා,

“අනේ නංගී! මගේ පුතා”  යයි හඬමින් අම්මා වැළඳ ගත්තාය.

“පුතා නැතිවුණා මල්ලියෙ. දැන් විනාඩි දහයක් විතර ඇති. මෝචරියට අරන් ගියා” ලොකු තාත්තා වෙවුලන ස්වරයෙන් පැවසීය. ඉතා විශාල මුගුරකින් පහර දෙන්නාක් බඳු වේදනාවක් මට දැනුණි. මගේ මුලු සිරුරම අප්‍රාණික විය. උගුරෙහි යමක් සිර වී ඇතිවාක් මෙන් මට දැනුණි. සියොළඟම දැවී යද්දී කුමක් කරම්දෝහෝ යි සිතා ගත නොහී මම මොහොතක් ගල් ගැසීමි. මට පොඩි අයියා බලන්නට අවැසි විය. මීට දින දෙක තුනකට ප්‍රථම පැමිණ මා හා එක්ව කතා කළ, සිනාසුණු ඔහුගේ මුහුණ මා ඉදිරියෙහි මැවෙයි. ඒ දීප්තිමත් දෑසින් ඔහු මදෙස බලා හිඳි අන්දම යළි යළි සිහිපත් විණි. වහා පැමිණෙන පොරොන්දුව හා මා අමතක නොකරන පොරොන්දුව මවෙත ලබා දී ඔහු නික්ම ගිය යුරු මට සිහි වේ. මේ සියල්ල මා ඉදිරියේ සිතුවමක් සේ දිග හැරෙන්නට විය. මට හැඬුම් නවතා ගත නොහැකි විය.

පොඩි අයියාගේ අවසන් කටයුතු ඉතා ඉක්මනින් සිදු විය. මම සිත් සේ හැඬුවෙමි. වැළපුණෙමි. ඉකි බින්දෙමි. මෙවර මට ඒ කිසිවක් සිර කර හිඳින්නට නොහැකි විය. එසේම මෙවර එසේ සිටින්නට මා වෑයම් කළේ ද නැත. සියල්ල නිම වූව ද ඔහුගේ වියෝවෙන් ලද අසීමිත වූ ශෝකයෙන් ලොකු අම්මා හා ලොකු තාත්තා පසු වූහ. මගේ සිතට ද කිසිදු සහනයක් නැත. එමෙන්ම ගතට ද කිසිදු ප්‍රබෝධයක් නැත. අපරිමිත විඩාවකට පත් වූවෙකු ලෙස මම ද කටයුතු කළෙමි.

අපි සියලු කටයුතු අවසන් කර යළි ගමට ඒමට සැරසීමු. ලොකු අම්මා හා ලොකු තාත්තා තව සුමානයකින් ලොකු අයියා සිටින රටට යාමට නියමිතය. ඔවුන්ට දැන් ඉතිරිව ඇත්තේ ඔහු පමණි. ඒ බව අපට පැවසූ ලොකු තාත්තා මගේ හිස අත ගා,

“සුදු හාමිනේ, හොඳට ඉගෙන ගන්න මයෙ පුතේ” යැයි අවසාන වශයෙන් පැවසීය. ඔවුන්ගේ දෙපා නැමද ආශිර්වාද ලබා ගත් මම මල් මාලාවක් දමා තිබූ පොඩි අයියාගේ ඡායාරූපය වෙත ගොස් එයට ද වැඳ මෝටර් රියට ගොඩ වීමි. මෝටර් රිය වේගයෙන් මංමාවත් පසුකොට ඇදෙන්නට විය. ආපස්සට යන්නාක් මෙන් පෙනෙන ගස්වැල්, ගොඩනැගිලි මෙන් ම කලබලකාරී ලෙස ඒ මේ අත දිව යන මිනිසුන් ද දෙස කවරදාටත් වඩා වැඩි ඕනෑකමකින් බලා සිටි මට දැනුණේ මගේ ජීවිතය ද ආපස්සට යන්නාක් මෙනි. සිදු වූ සියල්ල සිහිනයක් මෙන් මට දැනුණි. දැවැන්ත මාර්ඟයේ වූ රූපවාහිනී තිරයෙන් වාදනය වන අපූරු විරහ ගීයක් මා සවන් වැකුණේ මේ අතර ය.

“වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්

හැඬූ දා කඳුළයි දකින්නේ

සිනාවේ සරදම්”

සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ඒ ගීය ඇසෙන විට මට සිතුණේ ජීවිතය යනු සැබැවින්ම “එක් මොහොතක් ම පමණක් ය” ලෙසිනි. “වික්ෂිප්ත නිමේෂයක්” ලෙස ජීවිතය හැඳින්වීම උචිත යයි මට සිතුණි. ප්‍රියයන්ගෙන් වෙන් වීම සදාකාලික ඛේදයකි. සියල්ල පුනරාවර්ජනය කළ මම අවසානයේ සිත සකසා ගතිමි. සැබැවින්ම එය සරල නොවීය. කිසිලෙසකින්වත් පහසු නොවීය. අතිශය දුෂ්කර කාර්යයක් විනා එහි කිසිදු පහසුවක් නොවීය. කඳුළු නොසලන බවටත්, හොඳින් ඉගෙන ගන්නා බවටත් මා ඔහුට දුන් අවසන් පොරොන්දුව මේ සමඟ මට මෙනෙහි විය.  ඔහු මේ සියල්ල මෙසේ වන වග දැන සිටියාක් වැනිය. එවැනි පොරොන්දුවක් මා කෙරෙන් රැගෙන, මා සනසා ඔහු පිටව ගියේය. එහෙත් ඒ පිටව යාම මෙවැනි වූවකැයි මට ඉවෙන් හෝ දැනුණි නම්…………කිසියම් පසුතැවිලි සහගත සිතුවිලි සමුදායකින් සන්තානය කම්පා විය. යළිත් කඳුළු කැට වැගිරෙන්නට යද්දී නොහඬන බවට වූ පොරොන්දුව මා ඔහුට දුන් බව මට ආවර්ජනය විය.  සත්තකින්ම ඒ පොරොන්දුව සියල්ල දරා ගෙන ඉදිරියට යාමට මට සවිය විය. එසේ නොවෙන්නට කිසිදින මට මේ සොවින් මිදෙන්නට නොහැකි වන බව නම් නිසැකය.

පොඩි අයියාගේ ආශාව වූයේ මා ගුරුවරියක වනු දැකීමය. ඔහු හැමවිටම එය මට මතක් කර දුන්නේය. ඒ ආශාව ඉටු කළ යුතු බැව් එවිට මට පසක් විණි. ඒ පිළිබඳ සිහින මට ඇරයුම් කරන්නට විය. මම මෝටර් රියෙහි අසුනට බරව දෑස් පියා ගතිමි. පොඩි අයියාගේ සුන්දර සිනහව උතුරා ගිය මුහුණ මහදෙහි මැවිණි. හැමවිට මා නිමේෂයකට ගොළු කළ ඒ දීප්තිමත් දෑස මා අබිමුවේ දිස්විය. තවදුරටත් එදෙස බලා හිඳිමින් සැනසෙන්නට මට අවැසි විය. ඒ අනුව මඳ විරාමයක් ලත් අයකු මෙන් මම දෑස් පියා සුව නින්දකට සැරසුණෙමි.

 

නිමි.

 

Author – Raveesha Ruwanthi 
Email – ruwanthiraveesha@gmail.com
Download – සුදු හාමිනේ – Raveesha Ruwanthi

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »