“අවලංගු කාසිය” (awalangu kasiya) by Shazna Rilwan

අලුයම උදෑසන අවදි වීමටත් නොහැකිව තදින් පියා සිටි නෙතු යුවල විවෘත කළේ බොහෝ වෑයමක් දරා ය. උදෑසනින්ම ගතට පහසක් ලබා දීමට කඳුවැටි අතරින් එබිකම් කර බලන හිරුගෙන්, හිරුටත් හොරාවම පැන යන හිරු රශ්මිය මඟින් ද, දෙකනට වීණා වාදනය කරන්නාක් මෙන් ඇසෙන කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් ද, දෙව්ලොවේ නිදන විට දෙව්ලොවේ වූ මී පැණි වර්ග මෙන් රාත්‍රියේදී සීතල පින්නෙන් නැහැ වී සිටින ගස් කොළන් ගේ චලිතයෙන් මුහුණ මතට පතිත වන පිනි බින්දු වලින් ඇහැරී, දෙනෙත් විවෘත වන විට ම දවසේ ප්‍රථම ඡායාව ලෙස හමා යන ගත සිත පුබුදු කරන සිසිල් සුළඟට මුසු වී රූස්ස ගසකින් නික්මී පොළොව මාතාව සිප ගැනීමට සැරි සරන ශාක පත්‍රයක් දැකීම, එම පහස විදීම ආදිය හීනයක්ම නොවී සැබෑ වූයේ නම් කෙතරම් අගනේ ද? එහෙත් මුහුණ නාළු කරවන තිත්ත සත්‍යයට ආයුබෝවන් කියමින් දිනපතා අලුයම මා දෙනෙත් විවෘත කිරීමට අකමැත්තෙන් වුව ද විවෘත කරන්නේ පිටකොටුව බස් නැවතුම්පොළේ නිදා ගෙන සිටි බස් රියදුරු මහත්වරුන්ට පොදු වූ භාෂාවක් වන නළාව ක්‍රියා කරවීමෙන් දෙකන් බෙරය පුපුරා යාමට දක්වන වෑයම තවදුරටත් දරාගත නොහැකි වන නිසාය.

 

ඉතා අමාරුවෙන් නිදා සිටි ස්ථානයෙන් නැගිට ගත් මා බිම එලා සිටි පරණ සරම ගසා, එය නවා, දිරාගිය බෑගය තුළට දමා, එය කර ට ගෙන, අවුල් වූ කෙස් ගස් තවදුරටත් අවුල් වුව ද එය නොතකා හිස කසමින්, නොන්ඩි ගසමින් පොදු වැසිකිලිය වෙත ගොස් ශරීර කෘත්‍යය ඉටු කර, ඉන් පිටතින් වූ මල රජයන පැරණි පයිප්පය අමාරුවෙන් විවෘත කර ගලා යන දිය යටට අත දික් කළ විට මා සිරුර කිළිපොලා ගියේ එම දිය සීතල නදියකින් ගලා එන්නාක් මෙන් වූ බැවිනි. සීතල වුව ද ලැබෙන දිය පොද වෙනුවෙන් දෙවියන් ට සිත යටින් ස්තුති කරමින් එම සිසිල් ජලයෙන් ම මුහුණ ස්වල්පයක් තෙමා, මා නැවත නොන්ඩි ගසමින් පැමිණ තවමත් පවත්වමින් ඇති රියැදුරු බස් නළා ප්‍රසංගය අතරින් කැඩී කැඩී සිහින් ව ඇසෙන පන්සලේ ගාථාවට දොහොත් මුදුන් දී වැඳ සිටියේ කාලය නම් වූ, මායාවට යට වී ධනය නම් වූ මිරිඟුවට වශී වී එය පසුපස හඹා යන දෙනෝ දාහක් මිනිසුන්ට කිසිම අහිතක් නොවිය යුතු යන්න ප්‍රාර්ථනා කරමිනි.

 

කාත් කවුරුවත් නොමැතිව අවුරුදු 70ක් වියැති මා පිටකොටුව බස් නැවතුම්පොළේ නවාතැන් ගෙන වසර 10ක් නික්ම ගොස් හමාරය. කර ගත හැකි කිසිවක් නොමැතිව, වසර 10 කට පෙර මාගේ සොඳුරු සෙනෙහෙවන්ත භාර්යාව මිය යාමෙන් පසුව කරදඬු උස් මහත් කළ මාගේ දෝණියන් දෑ හා පුතුණුවන් දෑ යන දෙදෙනාට ම මාගෙන් ලබා දිය හැකි උතුම් ම දායාදය වූ අධ්‍යාපනය ලබා දුන් පසු ඔවුන් මා තවදුරටත් දිරා යාමට නොහැකි ව ආසන්න වූ තඹ සතයක තරමට වත් මායිම් නොකර ඔවුන්ගේ මෑණියන් දෑ, ඈ ට අසීමිත ව සෙනෙහස දැක් වූ මා හා මෙලොව, අතහැර නික්ම යාමෙන් පසු මාගෙන් කිසිම ප්‍රයෝජනයක් නොතිබූ මාගේ දරුවන් දෙදෙනා මා මුලා කර මා සතු වූ දේපල සියල්ලම ද ඔවුන්ගේ අයිතියට ගෙන මා නිවසින් නොඑලවා එළැවුයේ බිරාන්ත වී තුෂ්නිම්භූත ව සිටි මා අතරමං කර ය. රැවුල් ගස් ද ඉදී සුදු වී තිබූ මා කරගත හැකි කිසිවක් නොමැතිව දෑසින් ගලායන කඳුළු ගංගා දෙක ද පිස දමමින් බෑගයක මා සතු වූ සරොම් කෑලි දෙකක් ද, මාගේ භාර්යාව සමඟ මා ඈත අතීතයේ ගත් ඡායා රාමුවක් ද ගෙන යන අතක ගියා වේ යැයි සිතමින් බසයක නැගුණු මා එහි අවසාන නැවතුම වූ පිටකොටුව බස් නැවතුම්පොළ ට සේන්දු වුයේ එසේය. රැවුල් ගස් ද ඉදී එමෙන් ම, කෙළින් සිට ගත නොහැකිව ටිකක් කුදු වී සිටි මා හට කවුරුවත් රස්සාවක් නොදීමට හේතු වුයේ මාගේ සෙනෙහවන්ත දරුවන් මෙන් ම ඔවුන් ද මාගෙන් ප්‍රයෝජනයක් නොදුටු නිසා විය හැකි ය.

 

තවදුරටත් ජීවත් වීමෙන් කිසිම ඵලක් නොදුටු මා සිය දිවි නසා ගැනීම උත්සාහ කළ ද එය ක්‍රියාත්මක නොවූයේ මා සිත එතරම් ශක්තිමත් නොවූ බැවිනි. ප්‍රතික්ෂේප විය හැකි වූ සියලුම අන්දමින් ප්‍රතික්ෂේප වූ මා මෙලොවින් ප්‍රතික්ෂේප කරන තෙක් පිටකොටුව බස් නැවතුම්පොළම මා නිදියන රජ මන්දිරය කරගත්තේ එබැවිනි.

 

දිනපතා උදෑසන කෙතරම් මා නැවතීමේ තිත යොදා මා සිතිවිලි සමුදාය සන්ධිස්ථානයක් කරා ගෙන යාම ට මා තැත් කළ ද මා නොදැනීම එම තිත තිත් තුන වී මා මතකයන් මුතු අමුණන්නාක් මෙන් එකින් එක ඇමිණී ඇමිණී දිගින් දිගටම ගලා යන්නේ නැවත වරක් මා පරාජිතයෙක් යනුවෙන් මා හට හඟවමිනි. අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොමැති බව පසක් කරමින් මා සිටි තැනින් නැගිට අසල වූ තේ කඩය දෙස ට ගමන් කළේ රටේ තොටේ සිදුවන්නේ කුමක් දැයි දැන ගැනීමට පුවත් පතක් ගෙන කියවීමටයි. දිනපතා එහි යනවිට එම කඩේ මල්ලී දුම් දමන රු. 20ක් වටිනා තේ කෝප්පයක් පෙරැත්ත කරමින් මා හට දුන්න ද, මා දකින විට ඔහුට ඔහුගේ මිය ගිය සීයා මතක් වනවා යැයි හේතු කාරණා කීව ද එය කිසිවක් ගණනට ගෙන නොමිලේ එම තේ කෝප්පය හිස් කරවීමට මා සිත ඉඩ නොදුන්නේ එම රු. 20 ඉපැයීමට වුව ද එම මල්ලී දරන වෑයම මා හොඳින් දකිනා නිසා ය. එමනිසා පුරුද්දක් වශයෙන් ඔහුගේ රස නහර පිනා යන තේ කෝප්පය හිස් කිරීමෙන් පසු මා ඔහුගේ කඩයේ වූ පිං කැටයට රු. 10ක් හෝ රු. 5ක් දමන්නේ දිනපතා ඔහුට රු. 20ක් දීමට තරම් මා පොහොසතකු නොවන නිසාය.

 

උදෑසන පුවත් පත කියවා අවසන් කළ මා හෙමින් හෙමින් මහ මඟ අයිනට වුයේ එකිනෙක පැරදීමට මෙන් මුදල් පසුපස හඹා යන විට වටිනාකම් මොනවට කියා පාන නවීන මාදිලියේ වාහන වල සිරි නරඹමිනි. වෙලාව උදෑසන 7.30 බව අසල වූ ගුවන් විදුලි යන්ත්‍රයෙන් මුළු කොළඹ දිස්ත්‍රික්කයටම ඇසෙන ලෙස පැවසීම මා කන වැකුණි. දිනෙන් දින දුවිලි සමුහයෙන් ගහන වාත්‍රාශ්‍රයට හිමිකම් කියන කොළඹ ජනයාට උදෑසනම මාගේ අසුන්දර ගොරහැඩි මුහුණ පෙන්වා ඉතාමත් මිහිරි සොඳුරු වදන් වලින් මා දෙකන් හට සංග්‍රහ කරවීමට මා හට කිසිදු වුවමනාවක් නොතිබුයෙන් කඩ පිළ අසළ වූ ගලක් මත වාඩි වුයෙමි. මාගේ පාදයේ වූ සුව නොවන වණයට ඊයේ බැදී වෙළුම් පටි තෙමී ඇති අයුරු මා දුටුවෙමි. වෙළුම් පටි තෙමී ඇති විට මෙම මාස 9ක් පැරණි තුවාලය නැවත කැසීමට ආරම්භ වන බව අත්දැකීමෙන් දන්නා මා එම වෙළුම් පටි ඉවත් කළ සැණින්ම මැස්සන් එය මත වසන්නට දරන වෑයම ට ප්‍රතිවිරුද්ධව ඔවුන් එළැවීමේ අරමුණින් මා අතින් එම තුවාලය මත එහා මෙහා යන විට මා හට තරු පෙනුණේ මාගේ සති දෙකක් පුරාවටම විකා නොතිබූ නියපොතු එය මත ස්වල්පයක් ස්පර්ශ වූ බැවිනි. තවදුරටත් වේදනාව දරා ගත නොහැකි වූ මා මැහුම් ලිහිල් වී ඉරා වැටීමට ආසන්න වූ කමිසයේ වාටියෙන් දිගු පටියක් ඉරා සරොම් වාටියෙන් ද තවත් පටියක් ඉරා තුවාලය එමඟින් ඔතා දෙපැත්ත බැලුවේ පොලිතින් බෑගයක් තිබේ ද යන්නයි. මාගේ වාසනාවට මෙන් මා දුටුවේ මහා මඟ යන්නෙක් මා අසල බාගයක් කා අවසන් කර තිබූ බනිස් ගෙඩියක් හා කාලක් පමණ ඉතිරිව තිබු වතුර බෝතලයක් දමා පසෙක විසි කර ගොස් තිබූ අයුරුයි. එතරම් පොහොසත් ආහාර වේලක් එසේ විසි කර යාමට ඔහුට සිත දුන්නේ කෙසේ දැයි මා නොදනිමි. කෙසේ හෝ එම රසවත් මාළු බනිස් ගෙඩිය කා වතුර උගුර බිවු පසු බඩගින්නෙන් පිට පොත්තට ඇලී තිබූ මාගේ කුසය මෙන් ම මා හද ද පිනවත් විය. කා බී අවසන් කළ පසු බෑගයේ වූ රෝල්ස් ගෙඩියක මෙන් විය හැකි ඉතිරි කුඩු ස්වල්පයක් මා අසළ වූ කුණු කුඩයට තට්ටු කර එය අනෙක් පස හරවා මාගේ පාදයට දැමුවේ මේ දිනවල පවතින සවසට ඇද හැලෙන මහා වරුසාව නිසා දිනෙන් දින වෙළුම් පටි මාරු කිරීමට නොහැකි බැවිනි.

 

කෙසේ හෝ කාලය හෙමින් හෙමින් ගලා යන විට මා නොන්ඩි ගසමින් ඉරීමට ඔන්න මෙන්න අවස්ථාවේ වූ රබර් සෙරෙප්පු දෙකත් ඇද ඇද කඩින් කඩ ගොස් එහි වූ මුදලාලි මහත්වරුන් ගෙන් කනට මිහිරි වීණා වාදනා ඇසුයේ කළ හැක්කක් නොමැති බැවිනි. ඔවුන්ගෙන් අසන වදන් පෙළ තවදුරටත් දරා ගත නොහැකි වූ තැන මා මාර්ග සංඥා වලට නවත්වා තිබූ රථ පෙළ ආසන්නයට ගොස් සුදෝ සුදු මෝටර් රථයක දොරට තට්ටු කළෙමි. එහි වූ මහතා ජනෙල් විවෘත කර තිබුයෙන් ඔහුට මා දෙස බලනවා විනා වෙන කළ හැක්කක් නොමැති විය.

 

“උදේ පාන්දර මුන්ගේ මුහුණුවල් බලන්න වෙන්නේ පෙර ආත්මේ කරන පව් වලට වෙන්න ඕනේ…”

 

ඔහු කුටු කුටු ගාමින් වුව ද ඔහුගේ මුදල් පසුම්බිය එළියට ගත්තේ මා මුහුණට එළියක් දෙමිනි. පිරී තිබූ මුදල් පසුම්බිය හාර හාර සිටි ඔහු පසුව රු. 10 කාසියක් මා අත තබා ජනේලය වසන්නට විය. දොහොත් මුදුන් දී ඔහුට වැඳ ස්තුති කළ මා පසුව එම කාසිය අනෙක් පස හැරවූ විට දුටුවේ එය රු. 10 ක කාසියක් නොව රුපියලයක කාසියක් වන බවයි. සිනහ වන්න ද හඬන්න ද යැයි නොදැන මා ඊළඟට අසළ වූ ත්‍රී රෝද රථය වෙත හැරුණෙමි. එහි රියැදුරා “යනවා මිනිහෝ… උදේ පාන්දරම” යැයි පැවසුයෙන් මා එහි පිටිපස වූ මහතා වෙත ගියෙමි. එහෙත් ඔහු මා දෙස බැලුවේවත් නැත. තවදුරටත් එහි සිටීමෙන් ඵලක් නොමැති බව දැනගත් මා එකිනෙක වාහන වෙත ගොස් රු. 5ක් එකතු කර ගත්තෙමි.

 

හිරු, මා පිළිස්සීමට සුදානම් ව අහස උස ට මුදුන් වන විට මා බසයක නැගුණෙමි. එහි සෙනග අඩු වුව ද එහි වූ පාසල් යන ශිෂ්‍යයන් ස්වල්පයක් මා දුටුවෙමි. ඔවුන් දුටු විට මාගේ එකල අවුරුදු 10ක් වියැති මිණිබිරිය දැන් මොවුන් මෙන් සිටිනවා විය හැකිය යන්න සිහි විය.

 

“පුතේ…” කියා ඔවුන් අසළට මා ගිය සැනින් එක දියණියකට පින් සිදුවන්නට ඇය රු. 20 නෝට්ටුවක් මා අත තබා මා බසයෙන් බැසීමට ලැහැස්ති වන විට මා හට ඇසූ දෙයින් මා නොදැනීම මාගේ ඇසට කඳුලක් ආවේය.

 

“එයාලට සල්ලි දෙන්න එපා. බොන්න ඉල්ලන්නේ…” කවදාවත් මදු විතක් තොල නොගා තිබූ මා හට අසන්නට වුයේ එවැනි වදනකි.

 

බසයෙන් බැස ගත් මා අසල වූ පල්ලියේ නාද වන ඔරසන් වලට කන් දෙමින් දෙවියන් සිහි කරවමින් එහි පඩියේ වාඩි වුයෙමි. කාත් කවුරුවත් නොමැති මා හට එක් ආගමක් පමණක් නොව ආගම් හතරෙම වන්දනාවන් වලට මා කන් දුන්නෙමි. එය සිකුරාදා දිනයක් වුයෙන් පල්ලියට පැමිණෙන ජනයාගෙන් එක් මහතෙක් මා අත බරැති බත් පාර්සලයක් තැබීය. ඔහුගේ මතු සියලු වුවමනාවන් ඔහු සිතන ලෙසම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරමින් මා ගාට ගාට එතැනින් අයින් වී අසල වූ පාලම යට ට වී දිවා ආහාරය කන්නට ලැහැස්ති වුයෙමි. හිස කසමින් පාර්සලය විවෘත කළ මා දුටුවේ එහි ඉහළින්ම වූ විශාල කුකුළු මස් කෑල්ලකි. එය දකින විට ම කට ට කෙළ ඉනීමට වූයෙන් ඉක්මනින් එය කා අවසන් කිරීමට සිතා බත් පත දෙස ට අත දික් කරන විට ම මා කන වැකුණේ සිහින් ස්වරයෙන් හඬනා දැරිවියකගේ කට හඬයි. බඩගින්නෙන් පෙළෙන අම්මා කෙනෙකු හා දැරිවියක පාලම අසළ තනියම සිට ගෙන සිටි අයුරු මා දුටුවෙමි. කුසගින්න උග්‍ර වී සිටි මා නැවත බත් පත දෙස බලා ඔවුන් දෙසද බලා බත් පත ඔතන්නට වුයෙමි. එය බෑගයේ දැමු මා අමාරුවෙන් හෙමින් හෙමින් ඔවුන් වෙත ලං වුයෙමි.

 

“අම්මේ බඩගිනියි…” දෝණියන් දෑ හුරුබුහුටිය.

 

“දැන් මගේ අතේ සල්ලි නෑ දුවේ. මං ගෙදර ගිහින් කන්න මොනවාහරි හදලා දෙන්නම්.”

 

ඔවුන් වෙත ලං වූ මා බෑගය තුළ වූ බත් පත ගෙන ඔවුන් අසලටම ගියෙමි.

 

“දුවේ…” මාගේ ගොරහැඩි ශබ්දයට ඔවුන් මා දෙස බලන්නට විය. මා බත් පත ඔවුන් වෙත දිගු කළෙමි. එම අම්මාගේ දෑස් කඳුළින් තෙත් විය.

 

“එපා සීයේ. ඔයා කන්න.” ඇය කීව ද ඇගේ චූටි දියණිය එයට නොකැමැත්ත පාමින් ඇගේ මව දෙස ඔරවා බලන්නට විය.

 

“මං කෑවා දුවේ. මට තව පාර්සලයක් ලැබුණා. දුවටත් දීල මේක කන්න.” නෙතින් ගලා යන කඳුළු දහරාව අමාරුවෙන් නවත්වා ගත් ඇය සිනහවකින් මුව සංග්‍රහ කර මා සමඟ කතා කළාය.

 

“බබාලාගේ තාත්තා ව මෙහෙ කොළඹ ඉස්පිරිතාලේ නවත්තලා සීයේ. එයා ට ලෙඩ. සනීප නෑ. උදේ එද්දී අතේ සල්ලී තිබ්බා. ඒත් මහත්තයාගේ බෙහෙත් වලට ම ඒ සල්ලී හරි ගියා. දැන් ගෙදර යන්න විදිහක් නැතුව ඉන්නේ. බස් එකටවත් සල්ලී නැතුව.” සිතේ සිරක් කර ගෙන සිටි භාරයන් සියල්ල මා සමඟ පැවසු ඈ දුටු විට මා සිතට දුකක් මෝදු විය. බෑගය තුළට අත දමා මා එකතු කරගත් සල්ලී දැමූ කුඩා පොලිතීන් බෑගය මා අතට ගත්තෙමි. එහි රු. 200ක් පමණ ඇති බව මා හට මතක් විය. මා කොහොමත් සිටින්නේ පාරට ඇද වැටීය. මෙම අම්මා ද ඇගේ දියණිය සමඟ පාරට ඇද වැටීම දරා ගත නොහැක. ඈට පෙරැත්ත කරමින් එම කාසි බෑගය ද ඈ අත තිබූ මා ඉන්පසු යන්නට හැරුණ විට ඈ මෙසේ ඇසුවා ය.

 

“සීයේ, මේ උදව්ව මං කවදාවත් අමතක කරන්නේ නෑ. මෙහේ හිටිය කවුරුවත් මට උදව් කළේ නැති වෙන කොට සීයා මට උදව් කළා. ස්තුතියි සීයේ. සීයා ගේ නම?”

 

මගේ නම.

 

මගේ නම මට අමතක වී වසර 8ක් වී හමාරය. නිවස හැර ආ දිනෙන් සිට වේදනාව රජයන මාගේ මනසේ මගේ නම මා හට අමතක වීම පුදුමයක් නොවී ය.

 

ඈ දෙස හැරී සිනහවකින් ඈ ට සංග්‍රාහ කර මා ඈට දෑත් එකතු කර වැඳ ආචාර කර එතැනින් යන්න ට වුයේ කුසගින්නෙන් කෑ ගසන මාගේ හද ද සැලකිල්ලට නොගෙනෙය.

 

උදෑසන සිට ම ඇවිද ඇවිද විඩාවට පත් වී සිටි මා කෝවිලක් අසලට වී නිදන්නට වුයෙමි. නිරතුරුවම රේස් යන වාහන වල දුමෙන් හා දුවිල්ලෙන් වැසී සිටි මා හට එම දුවිල්ලෙන් ලැබෙන උණුසුම ද මනස තෘප්තිමත් කරන්නට විය. පැය කිහිපයක් නිදි දෙව්ලොවේ අතරමං වී සිටි මා අවදි වී අතේ සතයක් නොතිබුයෙන් එම මාර්ගය අයිනේ වූ නිවාස පේළියේ ගෙයින් ගෙට ගොස් දොර ට තට්ටු කළෙමි.

 

ඉදිරි දත් දෙපළේ දත් හතරක් වැටී මුහුණ පුරා රැවුල වැවී, දික් වී, ඉදී,ගැටී වී තිබු කොණ්ඩයත්, ඉරුණු කමිසයත්, පරණ වූ සරමත්, පාදයක බැදී සිටි පොලිතින් බෑගයත්, පටියක් ඉරී ගිය සෙරෙප්පුවත් සමඟ දුවිල්ලෙන් වැසුණු පැරණි බෑගයක් ද කර දමා අතකින් වැටේ වී දෝයි බියෙන් සරමත් බඩට තද කරගෙන, හිසත් කසමින් යන අයුරු දුටු කුඩා පිරිමි දරුවෙකු බියෙන් හඬන්න ට විය. කලිසමක් පමණක් හැඳ සිටි ඒ දරුවා වැටෙන බිංදු බිංදු වර්ෂාවේ තෙමෙන්නට ද විය. ඔහුගේ නිවසේ දොර වසා තිබුයෙන් ඔහු ඒ අසල පිටත සිට හඬන්නට විය. ඔහු වෙත කුඩාවට සිනහ වී අත පෙන් වූ මා හට ඔහු ද හැඩීම නවත්වා සිනහ විය. වර්ෂාව හයියෙන් ඇද හැලීමට සුදානම් වන ලෙසක් පෙන්වුයෙන් ඔහුට නිවාස දෙස මා අත යොමු කර ඇතුලට යන ලෙස හිසෙන් සංඥා කළෙමි. ඔහුට කුමන සිතක් පහළ වී දෝයි මා නොදනිමි. හිස වැනූ ඔහු නිවසේ දොරට තඩි බා ඇතුළට යන්නට විය.

 

මා අසල වූ නිවසේ දොරට තට්ටු කළෙමි. ජනේලයේ තිර රෙද්ද අයිනට කර බැලූ වයසක කාන්තාව “ගිහින් එන්න” යැයි පැවසීය. ‘හරි’ යැයි හඟවන්නට හිස වැනු මා අනෙක් නිවස වෙත ගියෙමි. එයින් ද ලැබූ ප්‍රතිචාරය එය ම විය. එහෙත් අනෙක් නිවසින් රු. 5ක් ලැබුණි. එසේ මා රු. 20ක් එකතු කරගෙන ‘ගිහින් එන්න’ යැයි ප්‍රථමයෙන් කියූ නිවස වෙත ගියෙමි. එහි නැවත තිර රෙද්ද අයින් කර බැලු කාන්තාව “යන්න මනුස්සයෝ ! ගිහින් එන්න කිව්ව ගමන් ආයේ එනවා. පිස්සු ද කොහේ ද? ගහක් ගලක් වගේ ඉදගෙන වැඩක් කරල හම්බ කර ගන්න බැරි හැටි. මුන් ට දි දී මයි අපි දුප්පතුන් වෙන්නේ. සතියක ට මුන් වගේ 10ක් ආවොත් හරි. හොඳට තියෙයි. හොඳ…..ට තියෙයි.” ඇගේ දෝෂාරෝපණය හමුවේ කරබාගෙන මා එම නිවාස පේළියෙන් පිට වී මා හෙමින් හෙමින් ඇවිද යන්න ට වුයේ බස් නැවතුම්පොළ වෙතයි. වේලාව පස්වරු 5 ට ආසන්න වුයෙන් තවදුරටත් මාර්ගයේ හිඳ ජනයාට කරදරයක් වීමට සිත ඉඩ නොදිනි.

 

හෙමින් හෙමින් පාදයේ වූ වණයේ වේදනාව උග්‍ර වන බව දැනුණ ද මා නවතා තිබූ බසයක ගොඩ වූයේ පිටකොටුව බස් නැවතුම්පොළ වෙත යාමටයි. බසයේ ගාස්තුව මා වැන්නවුන්ගෙන් නොගන්නා බැවින් මා රියැදුරා අසල සිටගෙන සිටියේ මාගෙන් හමන දුඟද ට මිනිසුන් නහය හකුළුවා ගනු මා දැක ඇති බැවිනි. පැයකට පමණ පසුව බසය අවසන් නැවතුමට පැමිණියෙන් මා ඉන් බැස පොදු වැසිකිළිය වෙත ගොස් ශරීර කෘත්‍යය ඉටු කර පොදු පයිප්පය අසලින් උගුර කට තෙමීමට වතුර උගුරක් ද ගෙන නොන්ඩි ගසමින් වර්ෂාව ට මුවා වෙමින් ගාට ගාට මාගේ රජ යහන වෙත ගියෙමි. හිස පහත කළ විට නින්ද යන සැනසීම වෙන කිසිවක් නොමැති මා හට විය. මුදල් නම් වූ දේදුන්න පසුපස හඹා යන්නන්ට එය තිබේ දැයි මා නොදන්නෙමිය. දවසම කුසට අහරක් නොමැති වුයෙන් මා ශාරීරිකව ද වැහැරී ඇත. අසල වූ කඩයෙන්, බසයෙන් බැස ගත් රු. 10 වඩය කා මා බෑගයෙන් සරම ගෙන, ගසා, බිම එළා, බෑගය තුළ වූ මාගේ මුළු ලොවටම උරුමකම් කී මාගේ භාර්යාවගේ ඡායාව දෙස ස්වල්ප මොහොතක් බලා, එය නැවත බෑගයටම දමා, එම බෑගය හිසට කොට්ටයක් ලෙස තබා, අනෙක් පස හැරී බිමට ඇල වූයේ හෙට දිනවත් මා හට කන්නට කෑමක් ලැබේවී දෝයි නොදැනය. හදිස්සියෙන් ඇවිදින ජනයාගේ පා හඬ මාගේ කනින් හෙමින් හෙමින් දුරස් වෙද්දී මාගේ ඇස් දෙක පිය වෙද්දී අහසේ හයියෙන් වූ ගෙරවීම ද හීනියට ඇසෙන විට නිදි දෙව්ලොවේ සිටි මා දුටුවේ මාගේ භාර්යාව මා හට අඬ ගසන ලෙසක් ය. ඈ දෙසට කුමන හෝ වේලාවක යෑමට සැදී පැහැදී සිටි මා හට එය මහත් වූ ආශිර්වාදයක් විය. දිනෙන් දින සිහිනෙන් ඈ දකින මා තද නින්ද ට වැටුණේ සත්‍ය වශයෙන්ම ඈ ට ලං වන එම දිනය වැඩි ඈතක නොවන බව සිහි කරමින් හා එම දිනය තෙක් මෙසේ දිනපතාම තද අව්වෙන් හා වර්ෂාවෙන් බැට කා කවුදෝයි නොදන්නා ජනයාගෙන් ඇනුම් බැනුම් කෝටියක් ද ඇසීමට නියමිත බව මතක් කරමිනි. දරුවන් සිටිය ද ඔවුන් නොමැති සේ සිටින මා හට ඔවුන් සිහි වුව ද ඔවුන්ට මා සිහි නොවන්නේ මන් ද? අක්කර 50 ක ට උරුමකම් කී මා අද දින කිසිම දෙයක් නොමැතිව අද මෙම බස් නැවතුම්පොළේ නිදන්නේ මා කුමන ආත්මයක කළ කුමන පවක ප්‍රතිඵලයක් ලෙසදැයි මා නොදනිමි. නිදි දෙව්දුව මා හිස සෙනෙහසින් පිරිමදිද්දී හිමින් ඇස් පිය වූ තද නින්ද ට වැටුණේ ලෝකය ට මා අවලංගු කාසියක් කරමිනි.

 

Author – Shazna Rilwan
Email – shazna.al@gmail.com
Download – අවලංගු කාසිය – Shazna Rilwan

 

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »