“අහිමි වීම සොඳුරු ද?” (ahimi weema soduruda?) by Rizna Rilwan

තාවකාලිකයි. එම වදන කෙතරම් මිහිරි ද? අර්ථය කොතෙක් ගැඹුරු ද? හැඟීම් කීයක් සිර වී ඇත්ද? මෙලොව පවතින සියලුම දේවල්, ජීවය, වස්තූන්, ඉදිකිරීම්, බැඳීම් සියල්ලම තාවකාලික නොවේද? හොඳින් හිරු පායා ඇති දිනක හිරු රශ්මිය පැවතිය හැකි වේලාව පැවසිය හැක්කේ කා හට ද? එක්වරම කොහේදෝ සිට පැමිණෙන වැහි වලාවකින් එය නැති වී යා හැකිය. අලුත උපන් බිළිඳා ගේ ජීව කාලය කොතෙක් දැයි කිව හැක්කේ කා හට ද? උපත ලබා වසරක් සැපිරීමට පෙරම බලගතු රෝගයකින් ඔහු මිය යා හැකිය. පාසල් යන විට වේගයෙන් පැමිණෙන රථයකට යට වී මිය යා හැකිය. රක්ෂාවට යන විට හෘදයාබාධයකින් මිය යා හැකිය. නොඑසේ නම් ඉතා දීර්ඝ කාලයක් ශරීර සෞඛ්‍යයෙන් ගත කර සාමාන්‍ය ලෙස මිය යා හැකිය. මේවා කිව හැක්කේ කා හට ද? ‘ඔය මගේ නේ, මං ඔයාව දාලා යන්නේ නෑ.’ මෙලොව මෙසේ පැවසූ පොරොන්දු කීයක් කඩ වී ඇත් ද? එය වදනකට පමණක් සීමා නොවී පොරොන්දුව රැකගත් අය කී දෙනෙක් ද? පැවසිය හැක්කේ කා හට ද? ඇය නමින් තෙනාරා දුල්මිණි විය. ඔහු නමින් ඉඳුවර හසිත් විය. මේ ඔවුන්ගේ කතාවයි.

හද්දා පිටිසර ගම්මානයක ඉතා දිළිදු පවුලක, මැදියම් වියේ පසුවන මව්පිය දෙපලකට දාව උපන් පස්වැනි දරුවා තෙනාරා දුල්මිණි විය. කොතෙක් දුෂ්කරතා මධ්‍යයේ වුවද පාසල් යෑම අත් නොහළ ඇය ඉගෙනීමට දක්ෂතා දැක්වූවාය. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ හයක් ලබා වාණිජ විෂය ධාරාව හැදෑරු ඇය වයඹ විශ්ව විද්‍යාලයට තේරීපත් වූයේ ඇගේ සොයුරු සොයුරියන් සියල්ලන්ගේ ප්‍රීතිය හා මියගිය මව්පියන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ය.

කොළඹ ඉහළ පැලැන්තියේ මව්පිය යුවලකට දාව උපන් එකම දරුවා ඉඳුවර හසිත් විය. නිවසක් නොව මාලිගයක විසූ ඔවුන්ට හැරෙන අතට සේවක සේවිකාවෝ රැසක් සිටියහ. කොළඹ ඉතා ඉහළ පෙළේ පාසලකට ගිය ඔහු සාමාන්‍ය පෙළින් ඉහළම සාමාර්ථ ‘A’ නවයක් ගෙන දිස්ත්‍රික් පළවෙනියා වූයේ කාගේත් පුදුමයට නොවේ. කුඩා කළ සිටම ඉංජිනේරුවෙකු වීමට හීන මැවූ ඔහු උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරා ගත්තේ කවදා හෝ සිය පියාගේ ව්‍යාපාරය ඔහුට අත්වන නිසා මව්පිය පෙරැත්ත මතය. උසස් පෙළින් ද ඉතා ඉහළම සාමාර්ථ ලබා ගත් ඔහු උසස් අධ්‍යාපනයට වයඹ විශ්ව විද්‍යාලය තෝරා ගත්තේ මව්පිය මැදිහත් වීම් වලින් තොරව සාමාන්‍ය සිසුවෙකු ලෙස උසස් අධ්‍යාපනය හැදෑරීමටයි.

ඉතා පිටිසර ගම්මානයක හැදී වැඩුණු තෙනාරා විශ්ව විද්‍යාලයට පැමිණ එම පරිසරයට හුරුවන විට මසක් පමණ ගෙවී ගොස් අවසන් ය. ඔවුන්ගේ එකම උපාධිය හදාරන කාණ්ඩයේ සිසුන් 300ක් පමණ සිටියද ඇය දැන හඳුනා ගෙන සිටියේ 15ක් පමණ වූ ඉතා සීමිත පිරිසක් පමණි. වෙනදා ලෙසම සාමාන්‍ය දිනයක් වූ එදින උදයේ ද ඇය ආපනශාලාවට ගියේ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයාව ඇය එදින මුණ ගැහෙන බව ඇය ද නොදැනීමයි.

යහළුවන් කොතෙක් සිටියද හැකි සෑමවිටම තනියම සිටීමට ප්‍රිය කළ ඉඳුවර එදින ආපනශාලාවට ගියේ උදෑසන දේශනයට පෙර යමක් ගිල ගැනීමටයි. ඈත පෝළිමේ සිටි තෙනාරාව දුටු විට ඇය පන්තියේ ළමයෙක් යැයි ඔහු හැඳින ගත්තේ දේශන වලදී දේශකයාගේ පැනයන්ට ය පිළිතුරු දීම ඉඳුවර දැක තිබු නිසාය. ගැහැණු ළමයින් සමඟ කතා කිරීම පුරුද්දක් කර නොතිබූ මොහු කිසිවක් ගණන් නොගෙන උදෑසන ආහාරය ගිල ගෙන ගිල ගෙන ගියේ දේශනය ආරම්භයට පෙර පන්තියට යා යුතු නිසාවෙනි.

උදේ ආහාරය මිලදී ගත් තෙනාරා ආපනශාලාවේ හැම තැනම බැලුවේ හිස් මේසයක් සොයා ගැනීමටයි. නමුත් එදින කිසිදු මේසයක් හිස් ව නොතිබූ අතර ඈත කොනේ මේසයක එක පිරිමි ළමයෙක් පමණක් ආහාර ගෙන සිටීම ඇගේ නෙත ගැටුණි. ඉක්මන් ගමනින් ඒ වෙත ගිය ඇය ලැජ්ජාව පසෙක දමා හඬ අවදි කළේය. “මෙහේ කවුරු හරි ඉන්නවා ද අයියේ?”, බලාපොරොත්තු නොවූ එම හඬත් සමඟ හිස ඔසවා එදෙස බැලූ ඉඳුවර දුටුවේ පෙර දුටු ගැහැණු ළමයාව ය. “නෑ නංගි, කවුරුත් නෑ”. “මං මෙහෙන් හිටියට අවුලක් නැද්ද?”. “කමක් නෑ”. එසේ පැවසූ ඉඳුවර, තෙනාරා ට සිනහවකින් සංග්‍රහ කර ඔහුගේ ආහාරය අනුභව කරමින් ගියේය.

උදේ ආහාරය ගෙන දේශනයට ගිය පසු දෙදෙනාටම උදෑසන සිදු වූ දේ අමතකව ගියේ එය එතරම් සුවිශේෂී දෙයක් නොවූ නිසාය. නමුත් ඉරණම යන්න කාටත් කිව නොහැකි දෙයක් ය. සතියක් පමණ ගත වූ පසු කණ්ඩායම් වශයෙන් සිදු කළ යුතුව තිබූ පැවරුමක තෙනාරා සහ ඉඳුවර එකම කණ්ඩායමක ට තේරුණේ ඔවුන් දෙදෙනාගේම අනුදැනුමින් තොරවය.

“මම ඉඳුවර”, “මම තෙනාරා දුල්මිණි”. එදින ඔවුන් එසේ දැන හැඳින ගත්හ. කාලයාගේ ඇවෑමෙන් ඔවුහු හොඳම මිතුරන් බවට පත් වූයේ කාලයටත් හොරා ය. නොදන්නා ප්‍රදේශයක නොදන්නා මිනිසුන් අතර මැදින් තෙනාරා ට හමුවූ ඉඳුවර ඇගේ ඉතාමත් කුළුපඟ මිතුරා වූයේ ලොවටම ‘ඉඳුවර’ වූ ඉඳුවර ඇයට ‘ඉඳු’ වෙමිනි. කුඩා කළ සිටම මිතුරු කැලක් සිටියද තමන්ටම හොඳම මිතුරෙක් නොසිටි ඉඳුවර ට හමු වූ තෙනාරා මුළු ලොවටම තෙනූ වෙද්දී ඔහුට ‘මිණි’ විය.

කාලය එසේ ගෙවී යද්දී දෙදෙනාටම විෂය ධාරාවට අමතරව විෂය බාහිර කටයුතු ද පැවරිණි. ඔවුන් අතරින් ද ඉඳුවර විෂය බාහිර කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්වීමෙන් විෂය සම්බන්ධ වැඩ කටයුතු ද අත නොහැරී කරගත්තේ අමාරුවෙනි. “මචං අර අද බාර දෙන්න තියෙන assignment එක කලාද බං?” උදේ පාන්දරම ඉඳුවර ගේ කාමර සඟයා වූ සංජීව ඇසීය. “අඩේ, මට එක අමතකම වුණා බං. උඹ කළා ද එක?” “නෑ බං. සීනියර් කෙනෙක්ගේ assignment එක ලැබුණා. එක දීලා දානවා මං. පිස්සු ද බං ඕවා කර කර ඉන්න.” කිසිවක් නොපැවසූ ඉඳුවර සිය දුරකථනය අතට ගත්තේය. වෙනදා වගේම එදත් තෙනාරා ගේ පණිවුඩය එහි තිබුණි. ‘ගුඩ් මෝනින් මිණි.’ පිළිතුර එවීමට පෙරාතුව සංජීව කට ඇරියේය. “ආ.. කෙල්ලට නේ, හරි හරි.” දත් විරිත්තාගෙන තමා දෙස බලා සිටින සංජීව දුටු ඉඳුවර “කෙල්ල නෙවෙයි බං, හොඳ යහළුවෙක් විතරයි. ඔහොම කියන්න එපා බං, ඒ කෙල්ලට ඇහුනොත් පව්.” යයි පවසා යන්නට ගියේය.

එදින හවස දේශන සියල්ල අවසන් කළ ඉඳුවර පුස්තකාලයට ඇදුණේ පැවරුම කර බාර දීමටත් සිතා ගෙනමයි. දුරකථනය අතට ගත් ඔහු තෙනාරා ට පණිවුඩයක් හැරියේය. ‘පරිස්සමින් යන්න මිණි.’ පෙරළා පිළිතුර පැමිණියේය. ‘හරි ඉඳු. ඔයා යන්නේ නැද්ද? මං දැක්ක library එක පැත්තට යනවා.’ ‘යන්න වෙන්න නෑනේ කෙල්ලේ. මේ assignment එක කරනවා මං.’ ‘ආ..’ පිළිතුර එපමණකි.

විනාඩි 10ක් යාමට මත්තෙන් ඉඳුවර දුටුවේ තමා අසල සිටගෙන සිටින තෙනාරා වය. “ඔයා මොකද මෙහේ?” “කෝ බලමු assignment එක.” තම අත වූ පැවරුම තෙනාරා ගනු ඉඳුවර බලා සිටියේ පුදුමයෙනි. “කෝ මේක කරමු දෙන්නම. තව පැයකින් බාර දෙන්නත් තියෙනවා.” යයි පැවසූ තෙනාරා ඉඳුවර ට සහාය වෙමින් පැයක් ඇතුලත පැවරුම අවසන් කර දෙදෙනාම සිය නේවාසිකාගාර දෙස බලා පිටත් වූහ

පසුදින උදෑසන තෙනාරා දුටු ඉඳුවර ඇය හමුවට ගියේය. “තෑන්ක්ස් මිණි ඔයා ඊයේ කල උදව්වට. ඔයා නම් මිණි පහනක් ම තමයි. ආදරෙයි මං.” කිසිදු වෙනසක් නොදක්වා ඉඳුවර කියාගෙන ගියේ මුව පුරා සිනහවක් සමඟයි. තරමක තිගැස්මක් ඇති වුව ද තෙනූ ද සිනහවකින් පැවසීය. “අයියෝ ඕක මොකද්ද? මගේ යහළුවා නේ. මාත් ආදරෙයි.”

කාලය ගෙවී ගියේය. දෙදෙනාම අවුරුදු 4 අවසන් කර උපාධිය ලබා ගන්නා දිනය ද ළං විය. තවමත් ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් වූහ. තෙනූ ට ඉඳුවර ඇගේ ජීවිතයේ නැතුවම බැරි පුද්ගලයෙක් වී බොහෝ කල් ය. ඉඳුවර ට ද එසේමය. නමුත් ඔවුන් අතර ඇති අසමානාත්මතාව ඔවුන්ට විලංගු දමා තිබීය.

උපාධිය ලබා ගත් දෙදෙනා එදින හවස තේ එකක් බීමට ආපනශාලාවට ගියහ. “මිණි දැන් මොකද්ද කරන්න යන්නේ?” ඉඳුවර කතාවකට මුල පිරීය. “දන්නේ නෑ ඉඳු. කොහේ හරි ඔෆිස් එකක බලන්න වෙයි. ඔයා තාත්තගේ බිස්නස් එකට එකතු වෙනවා ද?” “ඒක තමයි තාත්තගෙත් කැමැත්ත. කොහොමත් එක තමා වෙන්නේ. ආයේ එකේ මගේ අදහසක් නෑනේ.” දෙදෙනාම නිශ්ශබ්ද වූහ. “මොකද්ද කරන්නේ දැන් ඉතින්? මැරි කරන්න එහෙම අදහසක් තියෙනවද?” ඉඳුවර යළි සිය කටහඬ අවදි කළේය. “අනේ මං දන්නේ නෑ ඉඳු. අයියලා කියන එක්ක තමා ඉතින්.” යලි නිහඬය. “මොනා වුනත් ඔයා හොඳින් ඉන්න ඕනේ මගේ මැණික.” ඉඳුවර එසේ පැවසුයේ තෙනූ ගේ අතක් ද සිය අතට ගෙනය. මහත් වෑයමකින් ඉඳුවර දෙස බලා සිනහවක් පෑ තෙනූ යන්නට අවශ්‍ය බව හැඟවීය. ආපනශාලාවෙන් පිටතට පැමිණි දෙදෙන එකිනෙක වැළඳ ටික වේලාවකින් වෙන් වූහ. “මිණි, කීයටද ගමට කෝච්චිය?” “5 ට” “හරි එහෙනම්. පරිස්සමින් ගිහින් එන්න මැණික.” “අයියා කීයටද යන්නේ?” “තව ටිකකින් වාහනේ එයි. ඒකෙන්ම කොළඹ යනවා නංගී.” “හරි අයියේ. පරිස්සමින් ගිහින් එන්න එහෙනම්. මං යනවා දැන්. බුදු සරණයි අයියේ.” “බුදු සරණයි නංගී.” එසේ පැවසූ දෙදෙනා සිය ඉරණම බලා වෙන් වී ගියහ. සවස 5 ට පමණ දුම්රිය එනතෙක් බලා සිටි තෙනාරා ට දුරකථන පණිවුඩයක් ලැබී තිබිණ. ‘පරිස්සමින් යන්න මගේ මැණික.’ ඒ ඉඳුවර විය. ‘මගේ ඉඳු ත් පරිස්සමින්. බුදු සරණයි.’ තෙනාරා පිළිතුරු යැවීය. උසස් අධ්‍යාපනය අවසන් කල එම දෙදෙන ගේ නික්ම යෑම එසේ විය.

කාලය කාටත් හොරා ගෙවී ගියේය. අවුරුද්දකින් විතර පසු එක් දිනක රැකියාව අවසන් කර නිවසට පැමිණි තෙනාරා දුටුවේ දොර යටින් දමා තිබූ මංගල ආරාධනා පත්‍රයයි. කුතුහලයකින් යුතුව එය හැර බැලු තෙනූ දුටු දෙයින් ඇගේ පපුව හිර වෙන්නාක් මෙන් ඇය ට හැඟිණි. ‘ප්‍රවීන ව්‍යාපාරික ඉඳුවර හසිත් සහ ශෙන්යා සෙව්වන්දි ගේ මංගල්‍යයට ඔබව සාදරයෙන් කැඳවමු.’ තෙනූ ට සිය ඇස් අදහා ගත නොහැකි විය. ආරාධනා පත්‍රය ද අතැතිව ඇයව බිම හින්දැවුණේය.

ටික වෙලාවක් එලෙස සිටි ඇය සිය දුරකථනය අතට ගෙන ඉඳුවර ට කතා කළේය. “හලෝ මිණි, කොහොමද ඔයාට?” “මං හොඳින් ඉඳු. කිව්වෙත් නෑනේ මැරි කරන්න යනවා කියලා.” ඉතාමත් ආයාසයෙන් නගා ගත් සිනහවක් සමඟ තෙනූ ඇසීය. “ඔව් මැණික. මේ අම්මගේ තාත්තගේ වදේට. තාත්තගේ බිස්නස් යාළුවෙක් ගේ දුවෙක්.” “කමක් නෑ කමක් නෑ හොඳයි. මං වෙඩින් එකට එන්නම්කෝ.” “හරි මිණි.”

ඉඳුවර ගේ මංගල දිනයේ ඉතාමත් ප්‍රීතිමත් සිනහවකින් සිටි තෙනාරා ව කවුරුත් හඳුනා ගත්තේ ඉඳුවර ගේ යෙහෙළිය ලෙසයි. මනාලියට තෙනාරා ව ඉඳුවර විසින් හඳුන්වා දෙන විට මනාලියගේ මුහුණේ සිනහවක සේයාවක් ද සොයා ගත නොහැකි විය. නමුත් ඉතාමත් සතුටින් මනාල යුවලට සුබ පැතූ තෙනාරා නිවසට පැමිණ සිය කාමරයට ගොස් හෙළු කඳුළු වලට සාක්ෂි කරුවන් වූයේ ඇගේ කාමරය පමණි.

විනාඩිය පැයක ට දික් වී පැය දිනයක් වී දිනය අවුරුදු 5 කට දික් විය. සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් අලුත් ඇඳුම් මිල දී ගැනීමට තෙනාරා යුහුසුළු විය. ඒ දැන් ඇයට ද පවුලක් තිබෙන නිසාය. සිය පුත්‍රයා ව ද අතින් වඩා ගෙන සිටි සිය ස්වාමිපුරුෂයා ද සමඟ තෙනාරා කඩය තුළ ඒ මේ අත ගියේ ඇගේ පුතුට ගැළපෙන ඇඳුමක් සොයාගැනීමටයි.

“තෙනූ අර පැත්තේ බලන්න. මං දැක්කා ටී-ෂර්ට් වගයක් තියෙනවා.” සිය ස්වාමිපුරුෂයා ට එකඟත්වය පළ කර අනෙක් පැත්තට හැරෙන විට ම “මිණි?” යන්නක් ඇසිණි. තෙනාරා ගේ සර්වාංගයම සීතල වන්නට විය. තමන් ඉපදූ දින සිට ම ඇයට එසේ ආමන්ත්‍රණය කළේ එක අයෙක් පමණි. ඔහු කොහොමද මෙහේ? වෙන්න බෑ නේ යැයි සිතාගෙනම තෙනූ එම ශබ්දය දෙසට හැරී බැලුවේය.

ඇයට ඇගේ ඇස් කන් අදහා ගත නොහැකි විය. එහි සිටියේ වෙන කිසිවෙක් නොව ඇගේ ඉඳු ය. ඉඳුවර ට ද සිය දෙකන් අදහා ගත නොහැකිව ය සිටියේ. වෑයමකින් යුතුව ඉඳුවර හඬ අවදි කළේය. “ඔයාත් මෙහේ නේ? ඇඳුම් ගන්න ද?” “ඔව්. බබා ට.” යැයි පැවසූ තෙනූ සිය පුතු පෙන්වා දුන්නේය. “ආ.. ෂෝක් බබා නේ. බබා ගේ වයස කීය ද?” “අවුරුදු 3 යි.” තෙනූ පැවසීය. තෙනූ ගේ පුතු දෙස ටික වේලාවක් බලා සිටි ඉඳුවර පුතුගෙන් සිය නම ඇසීය. “ඉඳුෂාන්, අම්මා කියන්නේ ඉඳු කියලා.” ඉඳුවර ගේ හිසට මිටියකින් ගැසුවාක් මෙන් විය. සිය සර්වාංගයම සීතල වෙනු ඔහුට හැඟිණි. ඔහුගේ මිණි, සිය පණටත් වඩා ආදරය කළ ඔහුගේ මිණි පහන, ඇගේ පුතුට ඔහුගේ නම දමා ඇත. සිය භාර්යාවගේ මැදිහත් වීමෙන් විවාහ වී මසක් තුළම තෙනූ සමඟ තිබූ සියලුම බැඳීම්, ඔහුට කපා දමන්නට විය. එහෙත් තෙනූ ඇගේ පුතාට සිය නමින් ආමන්ත්‍රණය කරයි. ඔහුට අදහාගත නොහැකි විය.

නිවස බලා යන අතරතුර ඔහුට පෙර වූ සියල්ල රූප රාමුවක් සේ ඇස ඉදිරියේ විකාශය වෙන්නට විය. ඔහු සිතින් ආදරය කළ එකම පුද්ගලයා ඔහුගේ මිණි විය. ඇය හා එක් වීමට මොහුට නොහැකි වූයේ ඔහුගේ මව්පියන්ගේ හැටි ඔහු හොඳින් දන්නා නිසාය. නමුත් ඔහු සැමවිටම සිතුවේ තෙනූ ට ඔහු යහළුවෙක් පමණි යැයි කියාය. නමුත් එය එසේ නොවන බව ඔහුට අද පසක් විය. ‘ඔයා මගේ ඉඳු නේ. මං ඔයාව දාලා යන්නේ නෑ.’ අතීතයේ එක් දිනක සිනහව පිරුණු මුවින් තෙනූ එසේ පැවසූ සැටි ඔහුට මතක් විය. නමුත් දැන් කාලය මඟින් එම බැඳීම් සියල්ල තාවකාලික බව ඔහුට පසක් කර දී ඇත. දැන් කළ හැකි කිසිත් නැත. ඔහුගේ මිණි පහන දැන් වෙන කාගේදෝ ය.

‘මගේ මිණි පහන ඔයා නේ. තනිකරන් නෑ ඔයාව මං.’ ඉඳුවර එසේ පැවසූ හැටි තෙනූ ට සිය ඇස ඇතුළේ නැවත නැවතත් පෙනිමින් තිබිණි. ඇගේ ඉඳු. පණටත් වඩා ආදරය කළ ඉඳු. වචනින් වචනෙට මගේ මිණි පහන යැයි පැවසූ ඉඳු දැන් මතකයක් පමණක් වී ඇත. ඔවුන් අතර ඇති අසමානාත්මතාව හමුවේ එක් විය නොහැකි බව හොඳින් පසක් කර සිටිය ද තෙනාරා ට සිය හදවත වෙලා ගත් ශෝකය තවමත් එසේමය. එදා විශ්ව විද්‍යාල දින සිටම සිය අවසන් හුස්ම පොද තෙක් ඇය තම සිතින් ආදරය කරන එකම පුද්ගලයා ඉඳුවර පමණි. එම සිතුවිල්ල ඇය තුළම තිබෙන අතර එය ඉඳුවර ද නොදන්නා බව ඇය දනී.

මෙලොව පවතින සියලුම දේ තාවකාලික බව ඔවුන් දෙදෙනාට පසක් කර දීමට කාලය සමත් වී ඇත. හිමි වීම සොඳුරු ය. යලි හමුවීම ද එසේම ය. නමුත් අහිමි වන්නට හෝ හමු වීම අගනේය. අහිමි වීම සොඳුරු ද?

 

Author – Rizna Rilwan
Email – rizna.al@gmail.com
Download – අහිමි වීම සොඳුරු ද – Rizna Rilwan

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »