“පමා වී පැමිණි වසන්තය” (pamawee pamini wasanthaya) by Ishini Sewwandi

ඉඩෝරෙට කොල හැලුණු රබර් ගස් කාෂ්ඨක හුලගට සෙලවෙන්නේ මග දෙපස ආරක්ෂා කරන මුරකරුවන් මෙන්ය. ඉර මුදුන් වීමට ආසන්න බැවින් දැඩි හිරු රශ්මියක් අවට පැවතියද මෝටර් රථය තුල වූ සිසිලස මා එයින් මුදවා ගත්තේය. නමුදු හිත තුල තෙරපෙනා රස්නය ගිනියම් වූ යකඩ හා සම කරන්නටද නොහැකිය. අද සිට මා මේ ලෝකයේ තනිවනු ඇත….. පෙර කිසිදු දිනයක නොදැනුනු කම්පනයක් හා කලකිරීමක් සිත තුල තෙරපෙමින් හදවත පසාරු කරන්නටත්, දෙනෙත් තෙත් කරන්නට වෙර දරයි. වසට පහකට පෙරත් සුපුරුදු වූ මේ මාවත දිගේ පා ගමනින්ම පියමන් කල අයුරු මා හට සිහිපත් විය. මවගේ දෑතින් අල්ලාගෙන කුමරියක විලසින් එදා පිටත් වූයේ ජීවිතය විදීමටය. නමුත් අද….. මා සෙවූ ජීවිතය…. නැත., එය මා හට හමු වූයේ නැත….යලි කිසිදු දිනක හමුවන්නේද නැත. ඒ වෙනුවට මා හට උරුම වූයේ විදවීමය.. කාලය හරහා ආපස්සට යෑමට මා හට අවස්ථාවක් උදා වන්නේනම් එදා මා තෝරාගත් මග තෝරා නොගනිමි. මේ මාවත දිගේ ආපස්සට දිව ගොස් නිවහන තුල සැගවෙමි.

 

” මැඩම් මොන පැත්තටද යන්න ඕන ”

 

මාගේ රියදුරුගේ හඩින් යලි පියවි සිහියට පැමිණි මා අතීත සිදුවීම් තුල තව දුරටත් සැරි සැරීම නවතා රථයෙන් එපිට නරඹන්නට වූයේ දිගු හුස්මක් රැගෙන හදවතේ රශ්මියද වා තලයට මුහු කරමිනි

 

ටික දුරක් යන විට දර්ශනය වූ ගොක්කොල සැරසිලි යලිත් මා හඩවන්නට වූයේ මටම සාප කරමිනි.

 

වසර පහකට පසු මම ඇය බැලීමට ආවෙමි. නමුත් මා එන විටත් ඇය සුව නින්දකය. යලි කිසි දිනක අවදි නොවන නින්දකය.  මා වෙනුවෙන් හැමදාමත් කදුලු සැලූ, මාගේම යහපත පැතූ, සිහිනෙකුදු මා නොරිදවූ ඇයට මා හොද දියණියක් නොවූවාය.. මාගේ මෑණියන්ගේ අවසන් හුස්ම පොද යන්නට මත්තෙන් ඇය සමග වදනක් හෝ කතා කිරීමට අවස්ථාවක් නොලද මා සැබැවින්ම සැඩොලියකි.  මා මටම සාප කර ගත්තද මේ සියලු දේට වගකිව යුත්තේ මා පමණද…නැත. මෙම පසුතැවිල්ලට කණගාටුවට හේතුව මා නොව, ගුණවත්කම බල්ලට දමා උගත්කමින් පමණක් මොලය පුරවා ගත් පව්කාරයින්ගේ ගොදුරක් වීම නිසා මා හට උරුම වූ වේදනාවකි.

 

පවුලේ එකම දරුවා ලෙස වැදගත් පවුලක උපත ලද මා හැදී වැඩුනේ රැජිනක ලෙසිණි. කිසිදු අඩු පාඩුවක් නොතිබූ ඉතාමත් සුන්දර ලමා වියක් මා අත්වින්දෙමි. පාසලේ සිටි දක්ශතම සහ සුන්දරතම සිසුවිය ලෙස මා එකල ප්‍රකට විය. සැමගේ ආදරය හා සෙනෙහස මැද සැහැල්ලුවෙන් ජීවත් වූ මා අද සෑම දෙනාගේම පිලිකුලට හා අප්‍රසන්නයට පාත්‍ර වී ඇති අයුරු ඉතාමත් සෝචනීයය. නමුදු එය සත්‍යකි. අද මා මුදලට විකිනෙණ ගණිකාවකි. පිරිමින්ගේ අතින් අතට යන පව්කාර ගැහැනියකි. සැමියෙකු දරුවෙකු නැති අසරණියකි… දෑසට නැගුනු කදුලු අත්ලෙන් පිසදමා මා රථයෙන් බැස්සේ ගමනාන්තයට පැමිණ ඇති බව මා හට දැනුණු නිසාවෙනි

 

” සුදු බේබි ”

 

” කමලා නැන්දේ මගෙ අම්මා……..”

 

බාලවියේ පටන් මේ නිවසේ අත් උදව්වට සිටි කමලා නැන්දාගේ උර මත හිස හොවා ගත් මා සොවින් වැලපෙන්නට වූයේ හිත රැදි දුක මදක් හෝ නිවා ගැනීමේ අරමුණෙනි. වට පිටාවෙන් ඇසෙන කසු කුසුව අස්සෙන් මාගේ නමද දෙතුන් වතාවක් ඇසුනද එදෙස බැලීමට තරම් විරියක් මා හට නොවුණි.

 

අම්මාගේ අවසන් කටයුතු හැකි උපරිමයෙන් අවසන් කොට මා නැවත අගනුවර බලා යා යුතු‍ය. නමුත් වසර ගණනාවක් මවගේ හුස්ම පොද වැදුණු මේ නිවහන හුදකලාකොට දමා යෑමටද හිත මැලි වන බවක් දැනුණි.  නිවසින් පිට වුන දා පැවතියාක් මෙන්ම සෑම දෙයක්ම පැවති අයුරෙන් පවතී.. විස්මයට කරුනක්නම් මා භාවිතාකල සුලු දෙයක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම තවමත් පැවතීමයි.

 

” සුදු බේබි මෙච්චර කලක් කොයිබද වුන්නේ…. අපේ ලොකු නෝනා හිතාන වුන්නෙ බේබිට අන්තරාවක් වෙන්න ඇති කියලා… ගිය මහෙත් තුන් වෙනි වතාවටත් මෙහේ යස දානයක් දුන්න නොවැ බේබිව මතක් කොරල.. අන්තිම මොහොතෙත් කියෝ කියෝ වුන්නෙ හීනෙන්වත් දරුවව දකින්ට ආසයි කියලා.. මොනව කොරන්නද බේබි….ලොකු නෝන හිතේ දුකින්ම අන්තරා වුනා නොවැ ”

 

” කුසුමා මන් මේ හැම දෙයක්ම කරේ අම්මට තිබුන ආදරේට මිස මට අම්මව තනි කරල ඉන්න පුළුවන් කමකට නෙවෙයි.. ”

 

” ආදරයක් කරුණාවක් තිබුනනම් ලියුම් කඩදහියක්වත් එවන්ට තිබුන නොවැ නෝනෙ..උන්නද මලාද කියලවත් ආරංචියක් නැතුව  අපි උහුලපු ගින්දර බේබි දන්නෙ නෑ දෙයියො… ලොකු නෝන හරි සතුටෙන් උන්නෙ බේබි විශ්ව විද්‍යාලෙට ගිහිපු එකට.. දවසයි දෙකයි ඒ සතුට තිබුනෙ බේබි… බේබි අතුරුදහන් වෙලා කියල මෙහෙට පණිවිඩයක් ආවත් හරි ලොකු නෝන ඇවිදින මළකදක් ගානට වැටුනා.. කොරන්න පුලුවන් හැමදේම කොරා… ලොකු ලොකු මහත්තුරු හම්බවෙන්න ගියා.. පොලීසි ගානේ රස්තියාදු වුනා… අවුරුදු දෙකක්ම ගිහිල්ලත් නැති තැන ලොකු නෝන දානයක් දීල බේබිට පින් අනුමෝදම් කරා… බේබි තව ජීවත් වෙනව ඇතිය කියල අපි හිතුවෙ නෑ බේබි… ඇත්තටම මක්කැයි වුනේ…ලොකු නෝන නොබල ඉන්ට ඇහැක් වුනේ කෝමෙයි සුදුබේබිට.. ”

 

කුසුමා ඉකි ගසමින් හඬන්නට වූයේ මගේ මව කෙරෙහි ඇය තුල වූ ආදර ගෞරවය නිසාම බව මම දනිමි. වැඩකාරියක් ලෙස නොව සහෝදරියක් ලෙසටම ඇය මාගේ මව සමග කුලුපගය, සමීපය. මාගේ කතාව කොතනින් ආරම්භ කරන්නද මටත් නොදැනේ… එය එතරම් සංකීර්ණය.. දුක් සහිතය, වේදනාබරිතය.

 

” මන් කුසුමට විස්තරේ කියන්නම්කො නිදහසේ..”

 

බර සුසුමක් ගෙන කුසුමට එසේ පවසා මා මුලුතැන් ගෙට පැමිණියේ වතුර ටිකක් බී වියලුණු තොල කට තෙමා ගැනීමේ අරමුනෙනි. නමුත් ලෙන්ගතු හඬක් හදවතම සලිත කරමින් මා පිටුපසින් සවන් වැකුණේ නැවත වතාවක් හද කම්පා කරවමිනි

 

” පැංචී…. ඇයි බය වෙලා වගේ.. මාව අමතකද”

 

පෙර දින මා පෙම්කල ඔහු කෙසේනම් අමතක වෙන්නද.. හීන දහසක් පොදි බැද මා වෙනුවෙන්ම හදවත වෙන්කල ඔහුව අමතක වෙන්නට මා මියැදිය යුතුය. නමුත් එදා මෙන් නොව මා අද අපවිත්‍ර වූ ගැහැණියකි. ඔහුගේ දෑස් දෙස කෙලින් බැලීමට පවා අපොහොසත් වූ මා බිම බලා ගත්තේ නෙතින් ගලන කදුලැලි අතින් පිස නොදමා පොලව සිප ගන්නට ඉඩ හරිමින්ය. ඇතැම් විට ඔහු විවාහ වන්නට ඇත. දරුවන්ද සිටීමට හැකිය. මියගිය අයෙකු වෙනුවෙන් බලාහිදින පිරිමින් සිටිය හැකිද.. මා සිතත් සමග තර්ක කරමින්ම නොසෙල්වී බලා සිටියේ පපුව ඇවිලෙන ගින්නට මාද ඇවිලී අලු වී යනවානම් රිසියැයි සිතමිණි.

 

” පැංචී… තනියමද ආවෙ.. කෝ මහත්තය, දරුවො එහෙම ආවෙ නැද්ද..අපටත් නොකියම හැංගිලා ගිහින් සැපට ජීවත් වෙන පාටයි.. ඉස්සරටත් වඩා පාට වැටිල හැඩ වෙලා උඹ”

 

ඒ සෝ බරිත හඩ, බර සුසුම් මාගෙ හදවතට ගල් පහරක් වදිනවා මෙන් දැනුනද, වදනකුත් නොකියා ආපිට හැරී සාලය වෙත යාමට මා පා එසවූයේ මා දැන් කාටත් අවලංගු කාසියක් බව මාගෙ හිත පැවසූ නිසාවෙනි. පෙර දින ඔහු හා නොකී දෙයක් මා හට නොපැවතිය නමුදු අද ඔහු හා කතා කිරීමට මා සුදුසුද… නැත… ඔහුට පවුලක් දරුවන් ඉන්නවා විය හැක. මාගේ කතාව ඔහු හා කී පසු ඇතම් විට ඔහු මා කෙරෙහි පිලිකුලක් ඇති කර ගැනීමටද හැකිය. බැදපු නොබැදපු සෑම පිරිමියෙක් කෙරෙහිම මා තුල ඇත්තේ අප්‍රසන්න හැගීමකි. කිසිවෙකු කෙරෙහි ආදරය කිරීම මට අකැපය. මෙය මා රැගෙන ආ පව්කාර ජීවිතය විය යුතුය. මාගේ උරුමය විය යුතුය.

 

ඔසවන ලද දෙපා උන් තැනම අගුලු දමමින් නිමල් අයියා මා ඔහුගේ පපු තුරුලට ඇද ගත්තේ මාගේ ගතම අඩපණ කරමිනි. පෙරදා හිස හොවාගෙන සැනසුනු ඒ ලය මඩල එදා මෙන්ම අදත් ලතාවට ගැහෙයි.. දෑතම මා ගත වටා ගෙන ගොස් තව තවත් ඒ සිරුරට මා තද කරගත් ඔහු කෙමින් කෙමින් මාගෙ හිස මත ඒ දෙතොල් ගෙන යමින් පෙර හැගුම් අවදි කරලන්නට විය. තව දුරටත් ඔහුට සත්‍ය සැගවීමට මා හට නොහැකිය. මෙවැනි ආදරයක් මාගේ යටිහිත නිතර සෙව්වේය. නිමල් අයියාගේ සෙනෙහස එදා මෙන් අදත් පපුවට දැනෙන්නට විය. ඔහු අසන්නට කැමතිනම් මා එය ඔහුට පැවසිය යුතුය. මෙය ඇසූ පසු ඔහු මා ගැන පිළිකුලෙන් බැලීමය ඉඩ ඇත.

 

” පැංචි උඹ බැන්දද කියපන් ”

 

” බැන්දනම් තනියෙන් එන්නෙ නෑනෙ අයියෙ.. ”

 

” ඒ කියන්නෙ තාම බැදල නැද්ද…බදින්න කෙනෙක්වත් නැද්ද තාම…”

 

” අයියේ… මන් වගේ කෙනෙක්ට ආදරේ කරන්නෙ කවුද… මම කාටවත් සුදුසු නෑ නිමල් අයියෙ. කෝ අයියගෙ නෝන එහෙම ආවෙ නැද්ද ” මා මූනත් හකුලුවාගෙන දෙතෙත් කදුලින් පුරවාගෙන විමසුවේ ඔහුගේ තතු දැනගැනීමටද මා සිත බල කරන බැවිණි. ඔහුත් මා මෙන් තනිකඩ වූවානම් කෙතරම් හොදදැයි මාගේ බොලද සිත පවසයි. නමුත් එය එසේ විය හැකිද…

 

” උඹනම් එදා වගේම තමයි.. ඉරිසියාව බේරෙනවා…මගේ නෝන මැරුණනෙ…මන් මේ ලගදි දානෙත් අරන් පන්සලටත් ගියා..”

 

” ඒ කියන්නෙ බැන්දද”

 

සිය බිරිද මිය ගිය බැවින් ඔහු මෙසේ මට ලංවනවා විය හැකිය. එසේනම් ඔහු මා හා දුටුව හීන වෙන අයෙකු හා පාට කරන්නට උත්සාහ දරා ඇත. වෙන ගැහැනියක හා ඔහු පෙමින් වෙලෙන්නට ඇත. හිත ඇතුලේ දරුණු වේදනාවක් හා ඊර්ශ්‍යාවක් මෝදු වූයේ මටත් නොදැනීමය.

 

” කෝ බලන්න මූණ… මොකෝ මේ රතු වෙලා… උඹ හිතුවද බං මං උඹට දුන්නු හදවතේ ඉඩ වෙන කෙනෙක් වෙනුවෙනුත් වෙන් කරයි කියල.. කවදාවත් එහෙම කරන්න බෑ මට පැංචියෙ..මාත් බලන් හිටියා අම්ම වගේම.. ඒත් ආරංචියක් නැති වෙද්දි හිත හදාගත්ත. මේ ලෝකෙ උඹ තවත් නෑ කියල හිතන් මන් ඒ මතක එක්ක ජීවත් වුනා පැංචියෙ. මගේ නෝනා මැරුණ කියල හිතන් මන් ජීවත් උනා…මගේ ගෙදර උඹේ රූප හැමතැනම බන්. මල් මාලාවක් දාපු උඹ දිහා හැමදාම බලන් මන් හීල්ලුව. කුසුමෙ නැන්ද එක්ක පැංචිලයි අම්ම තනියෙන් නිසා මන් උදේ හවස මේ පැත්තෙ ආව ගියා. අම්මගෙ අන්තිම හුස්ම ගියෙත් මගෙ අත් දෙක උඩ පැංචියේ… කවුරුත් අයිතිකාරයෙක් නැත්තන් දැන්වත් මගේ වෙනවද… විදෙව්ව හොදටම ඇති මැනික.”

 

පිරිමියෙක් කදුලු සලන්නේ නැත. නමුත් නිමල් අයියාගේ ඉකි බිදුම් හඩ මාගේ හදවත කම්පනය කරයි. ඔහු මා වෙනුවෙන් මෙතරම් කාලයක් බලා සිටියාද.. මා නොපැමිනියානම් තව දුරටත් ඔහු මා වෙනුවෙන් සිටිනු ඇත. ඔහුගේ දිවිය මන් වෙනුවෙන්ම කැප කොට ඇති අයුරු අපූරුය. මා නැතත් මාගේ මව ඔහු විසින් රැක බලාගෙන ඇත. ඉතින් තවත් ඔහු ගැන කෙසේ නොසිතා ඉන්නද….ඒත් සත්‍ය පවසා සිටිය යුතුය.

 

” අයියෙ මට කියන්න දෙයක් තියෙනව. සමහරවිට මේ කතාව ඇහුවම ඔයාගෙ අදහස වෙනස් වෙයි.”

 

” උඹ කියන දේවල් වලට ඇහුන්කන් නොදීපු දවසක් කියපන් මට මතක් කරල… ඕන  දෙයක් කියන්න මැණික මන් අහන් ඉන්නෙ ”

 

මවගේ අවසන් කටයුතු හෙට බැවින් නිවස තුල මිනිසුන් පිරී ඉතිරී ගොසිනි. කිසිවෙකුට මා ගැන අවධානයක් නැත. කිසිවෙකු මා සෙව්වේද නැත. තවදුරටත් මාගෙ වගතුග සගවා සිටීමටද සිත මැලි සේය. හිරමණය මතින් ඉදගත් මා හිස ඔසවා නිමල් අයියා දෙස බැලීමි. ඔහු දෑස් අඩවන් කර හිස සොලවමින් මා හට අනුබල දෙන්නේ මාගේ කතාව පවසන ලෙසය.

 

” එදා මම හවස් වෙද්දිම කැම්පස් එකට ගියා අයියෙ. යාලුවෙක් හම්බ වුනා එහා ගමේ. එයා එක්ක එකම බෝඩිමක ඉන්න තමයි මන් කල් තියාම හිතන් හිටියෙ. බඩු ටිකත් යාලුව එක්ක බෝඩිමෙන් තියල හයට විතර අපි එලියට ආව රෑට කන්න කෑම ගන්න හිතන්. ”

 

” ඉතින් ඊට පස්සෙ මොකද උනේ මැණික… ”

 

” අපි කෑම අරගන්න ගිහින් එන අතරමග මනුස්සයෙක් හම්බ උනා අයියෙ. කැම්පස් එකේ මහාචාර්‍ය කෙනෙක් කියල කිව්වෙ. අපෙන් විස්තරත් ඇහුවා. ගම, නම අම්මල ගැන එහෙම. වැදගත් විදියට හිටපු නිසා ලොකු සැකයක් ඇති වුනෙත් නැහැ. ඉන්න තැන පවා අපෙන් ඇහුව. සමහර බෝඩිම් හොද නැහැ කියලත් එයා කිව්වා. පරිස්සමෙන් ඉන්න ඕනත් කියල කිව්වා. අපි දෙන්නටම ඒ මනුස්සය ගැන ලොකු ගෞරවයක් ඒ වෙලේ ඇති උනේ.

 

කොහොම හරි අපිත් එක්ක බෝඩිම ලගට එනකන්ම ඒ මනුස්සයත් ආවා. පරිස්සමෙන් ඉන්න කියලත් ගියේ. ඊට පහුවෙනිද අපිට කැම්පස් පටන් ගත්තා.. මමයි මගේ යාලුවා සදලියි උදේ හතට විතර ලෑස්ති වෙලා පහලට එද්දි අර කලින් දවසෙ හම්බ උන කෙනත් පහල හිටියා. වාහනේ වීදුරුව පහත් කරල දෙන්නටම නගින්න කියල කිව්වා.. මොනව වුනත් අදුරන්නෙ නැති අය එක්ක යන එක බය නිසා අපි දෙන්න ඒ වෙලාවෙ බොරුවක් කියල මග ඇරියා”

 

” යන්න කලින් මම කිව්ව නේද එක එකා එක්ක කතාවට යන්න හුරතල් වෙන්න යන්න එපා කියල…. ඉගෙන ගත්තට සාමාන්‍ය දැනුමක් නැහැ.. මේවට වැරදි අම්මල තමයි.. හුරතල් කරල ඉල්ලන ඉල්ලන දේ දීල හැදුවනෙ. සමාජෙ ඉන්න දන්නෙ නැහැ.”

 

” උන දේ උනා අයියෙ මගෙ මැරුණ අම්මට සාප කරන්න එපා.. ඔයාට අහන් ඉන්න බැරිනම් මම නොකිය ඉන්නම්..”

 

” පන්ඩිත නොවී කියනවා.. ඉතින් මොකද උනේ”

 

” එදා අපට උදේම තිබුන ලෙක්චර් එකේ උගන්නන්න ආවෙ අර මහාචාර්‍යවරයා. ඇත්තටම ඒක අහම්බයක්.. අපි වගේම එයත් පුදුම උනා අපිව දැක්කම.. අපේ නමුත් දන්න නිසා අපෙන් ප්‍රශ්න පවා ඇහුවා.අනිත් ලමයිනුත් අපි දිහා පුදුම වෙලා බලන් හිටියෙ. එදා මටයි සදලිටයි පුදුම සතුටක් දැනුනෙ. අහල තිබුන තරන් දරුණු වටපිටාවක් කැම්පස් එක ඇතුලෙ තිබුනෙත් නැහැ. පලවෙනි පාඩමම හිතට වැදුනා. පුදුම ලස්සනට හිතට වදින විදියට පාඩම අපට කියල දෙන්න ඒ මහාචාර්‍යවරයට පුලුවන් උනා.. ”

 

නිමල් අයියා උලුවස්සට හේත්තූ වී මා දෙසම බලා සිටිනු මාගෙ යටැසට පෙනේ.. ඔහුගේ දෑස් වෙනදා  මෙන් නොව ඉතා තියුණුය. මා කතාව නැවැත්වූ බැවින් ඔහු මා දෙස එක එල්ලේම බැලුවේය. ඒ දෑසේ රලු බව මා බියෙන් සසල කිරීමට සමත් වුවද, සැනින් සිය ඉරියව් වෙනස් කර ගත් මා ඉතිරිය සම්පූර්ණ කරන්නට යුහුසුළු විය.

 

” සදලිට එදා හවස ඉංග්‍රීසි උගන්වන සමාජයකට යන්න ඕන කියපු නිසා මම එදා තනියම තමයි බෝඩිමට ගියේ.  කැම්පස් එකේ ගේට්ටුවෙන් එලියට බහින කොටම අර සර් වාහනේ නවත්තල මට කතා කරා එයා එක්කම යන් කියල. මුලින් තරන්වත් බයක් සැකක් ඇති නොවුන නිසා දෙපාරක් නොහිතම මම වාහනේට නැග්ග.”

 

වරදකාරී හැගීමක් හිත තුල මෝදු වුවද මා දිගටම මාගේ කතාව ඉදිරියට ගෙන යන්නට විය.

 

” එදා තමයි මන් ජීවිතේ කරපු ලොකුම මෝඩකම කරපු දවස… බෝඩිමට හරවන පාර වෙනුවට වෙනත් පාරකට වාහනෙ හරවපු නිසා මම සර්ගෙන් ඇහුව කෙහෙද මේ යන්නෙ කියල. පොඩි වැඩක් කරගන්න තියෙනවා විනාඩි පහක් දෙන්න කියල මට කියල එයා වාහනේ ටිකක් ඇතුලට වෙන්න තිබුන ගෙයක් ලගින් නතර කරා. මට ඇතුලට වෙලා ඉන්න කියල එයා එයා ඒ ගේ ඇතුලට ගියා විතරයි අයියෙ මට මතක…”

 

” පැන්චි ඊට පස්සෙ වුන කිසිම දෙයක් මතක නැද්ද.. මේ අද ඉන්න තැනට ආව හැටි මතක නැද්ද. ඔයා කියන්නෙ ඔයාගෙ සිහි කල්පනාව නැති වුනා කියලද මැනික ”

 

” නෑ අයියෙ මට ආයි සිහිය එද්දි මම හිටියෙ ටිකක් අදුරු තැනක. මිනිස්සු පහ හය දෙනෙක් මන් වටේ ඉන්නව වගේ මට පෙනුන. සැර ගදක් ආව නිසා ඒ අය බොනව කියල මට තේරුනා.. පුලුවන් තරන් හයියෙන් මන් කෑ ගහල උන්ට කතා කරා.. මන් ඉන්නෙ කොහෙද කියල ඇහුවා. මට මොකක්ද වුනේ කියල මන් ඇහුවා..ඒ හැම දේටම උන් හිනා වුනා අයියෙ..ටික වෙලාවක් යද්දි මට තේරුනේ මගේ ඇගේ එක නූල් පොටක්වත් නැති බව. ඒ වෙද්දිත් නපුරක් වෙලා කියල මට තේරුනා.. ඒත් කෑ ගගහ අඩනව ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබුනෙ නැහැ. එදා ඉදන් දවසින් දවසම එක එකාගෙ අතින් අතට යන්න මට සිද්ධ වුනා අයියෙ. කොච්චර ඇඩුවත් දුක කිව්වත් කිසිම මනුස්සයෙක්ට මගේ දුක ඇහුනෙ නෑ….. ඒ හැම කෙනෙක්ටම මගේ හිතේ ගින්දරට වඩා එයාලගෙ රාග ගින්න ලොකු උනා…

 

එක දවසක් මට එතනින් පැනල යන්න විදියක් හම්බ වුනා.. මන් වගේම තවත් කැම්පස් ආව ගෑනු ලමයි හය හත් දෙනෙක්ම එතන හිටියා. ඒ හැමෝම මෙතෙන්ට ගෙනල්ල තිබුනෙ අර මහාචාර්‍යවරයා. එයා වාහනෙන් බැහැපු තැනට වෙනකන් විතරයි අර අනිත් අයටත් මතක. ඊට පස්සෙ ඇස් අරිද්දි හැමෝම ඉදල තියෙන්නෙ මන් හිටිය වගේම විනාස වෙලා. පස්සෙ අපට තේරුනා ඒ මනුස්සය වාහනෙන් බහිද්දිම සිහි නැතිවෙන වායුවක් වාහනේ ඇතුලට එන විදියට හරිගස්සල එයා බැහැල යනව කියල. සිහි නැති වුනාම ගෑනු ලමයින්ව මෙතෙන්ට විකුනනව කියලත් අපට තේරුනා. මොකද වාහනෙන් සර් බැහැල ගියාම මට වගේම අනිත් හැමෝටමත් අමුතු සැර සුවදක් දැනිල තිබුනා. ඉතින් මේ ලමයි එක්ක එකතු වෙලා දවසක් රෑ අපි ජනේලෙකින් පැනල යන්න උත්සහ කරා. එක්කෙනෙක් එලියට ගිහින් අනිත් අයවත් කොහොම හරි බේර ගන්න තමයි අපි කල්පනා කරේ. ඇදවල් වලට දාල තිබුන රෙදි අරන් කඹයක් වගේ හදල උඩ තට්ටුවෙ ඉදන් පහලට දාල ඒක දිගේ බහින්න තමයි අපි හිතුවෙ. කොහොමහරි මට තමයි එදා පැනල යන්න අවස්ථාව හම්බවුනේ..

 

ජනේලෙන් පැනල එලියට යද්දිම එක සැරේම දරදඩු අත් දෙකකට මාව අහු වුනා.. කොච්චර දැගලුවත් බේරෙන්නම බැරි උනා.. වලාකුලු වලට වැහුනු හද ටික ටික පෑදීගෙන එද්දි මන් දැක්කෙ අර මහාචාර්‍යවරයගෙ මූන.. මරල දාන්න තරන් තරහක් ආවත් හෙලවෙන්නවත් විදියක් නැතුව මන් එදත් අසරණ වුනා. පැනල යන්නෙ ඇයි කියල මගෙන් ඇහුව. මන් කිව්ව මට එක තැනකට වෙලා ඉන්න බෑ කියල මට නිදහසේ ඉන්න ඕන කියල. එයා මට නිදහස දෙන්නම් කිව්ව. ඕන තරන් ඇවිදින්න ඕන තැනකට යන්න කිව්වා. හැබැයි එයාට  කෝටි දහයක් හොයල ඕන කිව්වා. කාටහරි මේ ගැන කියල තිබුනොත් අම්මව මරල දානව කියලත් කිව්ව.

 

එදා පලවෙනි දවසෙම ගෙදර තියෙන තැන පවා මම කියල තිබුනෙ. ඉතින් මන් ගොඩක් බය උනා. අද වෙද්දි මන් කෝටි හතකටත් වඩා හම්බ කරල දීල ඉවරයි. මට අම්මව බලන්න එන්න පුලුවන්කම තිබුනත් ආයි අම්ම මට කොලඹ යන්න නොදුන්නොත් අම්මට කරදරයක් වෙයි කියන බයට මන් හිටිය වගේම හැංගිලා හිටියා. මේ වාහනේ පවා එයා මට අරන් දුන්න එකක්. අනිත් අයට වඩා ගොඩක් විශේෂ විදියට එයා මට සැලකුවා. මාව නැති කර ගන්න එක පාඩුවක් කියල එයා නිතරම කිව්වෙ. මගේ අම්මව බිල්ලට තියල එයා මාව එයා ලගම රදව ගත්ත. දවසට හත් අට දෙනෙක්ට මාව විකුන්නා. ඇති වෙන්න හම්බ කරා.

 

අද ඉදන් මට බය වෙන්න දෙයක් නැහැ. මන් මෙච්චර කලක් ජීවත් වුනේ මගෙ අම්ම නිසා. අම්මට තිබුන ආදරේ නිසා. ඉතින් තව සල්ලි ටිකක් හොයන් රට යන්න තමයි මන් හිතන් ඉන්නෙ අයියෙ. සල්ලිකාර ජරා මිනිස්සු එක්ක හැප්පෙන්න අපට බෑ අනික එයා සමාජෙ ගොඩක් ප්‍රසිද්ධයි. ඒ හොද කෙනෙක් විදියට. අනිත් අයට උදව් කරන කෙනෙක් විදියට. මට එයා වැරදියි කියල ඔප්පු කරන්න විදියක් තිබුනෙ නැහැ. සල්ලි නිසා වැරදි වහ ගන්න එක එයාට සුලු දෙයක්. ඉතින් මං බුද්ධිමත් කියල මුලු ලෝකයක් හිතන් ඉන්න දරුණු අපරාධකාරයෙක් නිසා මගේ ජීවිතේම නැති කර ගත්තා.. එයාට සොබා දහමෙන් දඩුවම් ලැබෙනකන් මන් බලන් ඉන්නව.”

 

නිමල් අයියාගේ දෑස කදුලින් තෙත් වී ඇති අයුරු මා හට පෙනෙයි. එක වරම මා වෙත පැමිණි ඔහු මා ඔහුගේ පපුතුර නැවත වතාවක් සගවා ගත්තේය…

 

” මගෙ කෙල්ල කොච්චර අසරණ වෙලාද… ඕකුන් එකෙක්ටවත් මන් යහතින් ඉන්න දෙන්නැ මැනික. හැමෝම මරනවා…”

 

නිමල් අයියාගෙ දෑත් මිට මෙලවිණි. ඔහුගේ සුසුම් මාගේ හිසට තදට දැනුණි. ඔහුගේ මේ පලිගැනීමේ චේතනාව ඔහුටත් අවැඩක් සිදු කරාවියැයි මා හට බියක් ඇති විය.

 

”  පැංචි අපි අම්මගෙ වැඩ කටයුතු ඉවරයක් වුන ගමන් බදිමු. උඹ ආයි කොලඹ යන්නෙ නෑ.. මන් එක්ක ඉන්න බැරි කමක් නෑ උඹට”

 

“අයියෙ මට වඩා හොද කෙල්ලෙක් අයියට ලැබෙයි. අනික මන් වගේ කෙනෙක් නිසා නිකරුණේ අයියගෙ ජීවිතේට කරදර ගාවගන්න ඕන්නැ අයියෙ”

 

” මගේ යකා අවුස්සගන්නැතුව හිටපන්. මෙච්චර කාලයක් මන් ජීවත් උනේ උඹ මැරුණ කියල හිතන්. ඉස්සර මතක එක්ක මන් පුලුවන් තරන් සතුටෙන් ජීවත් උනා මැණික. උඹ පණ පිටින් ඉන්න එකත් මට ඇති පැංචියෙ. වෙන කිසිම දෙයක් මට වැඩක් නැහැ. මෙහේ ඉන්න බයනම් අපි වෙන දිහාවක ගිහින් ජීවත් වෙමු. ”

 

බියක් දැනුණද ඔහුට අවනත වනවා විනා වෙන දෙයක් කිරීමට හදවත් මා හට ඉඩ නොදෙන බවක් හැගුණි. අම්මාගේ අවසන් කටයුතු සිදු කර හත් දවසේ බණටත් පෙරම නිමල් අයියා මා රැගෙන ආවේ නුවරඑලියේ පිහිටි ඔහුට අයත් කුඩා නිවසකටය. අබලන්ව පැවතියද අතුපතු ගා ගත්කල එහි විශාල අඩුපාඩුවක් නොපෙනුණි. මා මෙහි දමා ආහාර පාන සියල්ලද ගෙන දී ඔහු මවගේ සත්දවසේ බණට සහභාගී වීමට නැවත ගම බලා පිටත් වූයේ මා හට නිවසින් එලියට නොයන ලෙසද දැඩිව අවවාද කරමිනි.

 

ඔහුත් නොමැතිව තනිව නිවසට වී පාලුවෙන් සිටි මා ඊයේ පත්තරය කියවීමට පටන් ගත්තේ හිතට දැනුණ තනිකම මකා ගන්නටය. දෙවෙනි පිටුවේ රත් පැහැයෙන් පැවති සිරස්තලයක් වෙත මාගේ දෙනෙත් ගියේ එය සෙසු සිරස්තල වලට වඩා විශාලව පැවති බැවිණි.. ” බුද්ධිමත් කඩවසම් මහාචාර්‍යවරයෙකුගේ අවසානය” ලෙස එහි සටහන්ව තිබුණි. එසේනම් මාගේ ජීවිතය විනාස කල ඔහු දිවියෙන් සමුගෙන ඇත.  රිය අනතුරකින් ඔහු හදිස්සියේම මිය ගොස් ඇත.  පුවත්පතෙහි ඔහු පිලිබදව ලියවී ඇති වර්ණනාව කියයූ මා හට නොදැනීම සිනහ පහල වූයේ ඔහු කෙරෙහි ඇතිවූ අනුකම්පාවෙනි. ඔහු සත්‍යවශයෙන්ම දෙව්ලොව කරා යෑමට සුදුසු ගුණ යහපත් අයෙක් බව එහි සදහන් විය. මතු පිටින් හොද යැයි ලෝකයට පෙන්වන ඇතුලාන්තයෙන් පව්කම් කරන මෙවැනි මිනිසුන් තවත් සිටිය හැක. බුද්ධිමත් වුවද ගුණ යහපත්කම් නොමැති පව්කාර, ව්‍යාජ වූ මිනිසුන්ට සොභාදහමද දිනක නිසි දඩුවම ලබා දෙනු ඇත. එසේනම් අද සිට මා බිය විය වුතු නැත. පමා වී හෝ වසන්තය පැමිණ ඇත.

 

නිමල් අයියා නිවසට පැමිනුනේ පසුදින උදෑසනය.  සිදුවී ඇති දේ ඔහුට පැවසූ විට ඔහු ප්‍රීතියෙන් විකසිත වන්නට විය. මා ඔසවා ඔහුගේ දෑතට ගෙන වට කිහිපයක්ම කැරකුනු ඔහු මාව යහන මතින් තැබුවේ නලලත සෙහෙහෙබර හාදු වැස්සක්ද තබමිනි.

 

” මැනික අපි ආයි ගමට යමු නේද.. කුසුම නැන්ද ගේ පාලු නොකර එහේ ඉන්නව කියල කිව්ව. අපිත් යමු. ගිහින් දරුවොත් එක්ක ජීවත් වෙමු..”

 

” කෝ දරුවො”

 

” ගිහින් හදමු ”

 

නැවතත් මා සිප ගනිමින් ඔහු පැවසූවේ අසීමිත වූ ප්‍රීතියෙනි.. ඉතින් මා සෙවූ ජීවිතය මෙයයි. වරදට දඩුවම් කවදා හෝ ලැබෙනු ඇත. අපි කරන ලද පවක් ඇත්නම් එය ගෙවීමද අප සතු වූ වගකීමක්ම වන්නේය… මා කල අකුසල් ගෙවෙන්නට ඇත. කිසිකලක නැවත ආදරයක් සෙනෙහසක් නොලැබේයැයි සිතූ මා අද අමිල සෙනෙහසක හිමිකාරියකි. මෙවන් ස්වාමියෙකු ලද මා සැබැවින්ම පින්වන්තය. ඔබ නිවැරදිනම් කවදා හෝ සතුට ඔබ සොයා පැමිනේවි. එසේම ඔබේ හෘද සාක්ශියට ඔබ අවනත වන්න.. ලොවට බොරු කලද සිය හදවතට බොරුකල නොහැකි බව මතකයේ තබාගෙන ජීවත් වන්න…..

 

නිමි.

 

Author – Ishini Sewwandi
Email – ishinisewwandi97@gmail.com
Download – පමා වී පැමිණි වසන්තය – Ishini Sewwandi

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »