සොබාදහම් දෙමව්පියන් දාව තවත් අපූරු දරුවෙක් මෙලොව එළිය දුටුවා. තමාගේ අනෙක් දරු දැරියන්ට තමන්ගෙන් දායාද වූ අනන්‍යතාවයන් මෙන් ම මොහුටත් සුවිශේෂී වූ යමක් ලබා දිය යුතු යැයි දෙමව්පියන් දරැවා ඉපදීමටත් පෙර තීරණය කර තිබුණා. ඉතින් ඔවුන් ඔහුට බුද්ධියත් ඥානාන්විතබවත් දායාද කළා. එම පුතුට ඔවුන් ‘මිනිසා‘ යැයි නම් තැබුවා. සොබාදහමෙි අනෙක් දූ පුතුන් මෙන් ම මිනිසාත් සතුට,සැහැල්ලුව,ආදරය මිතුරන් කර ගනිමින් වාසය කළා. සැබවින් ම සොබාදහමෙි දූ පුතුන් පුදුමාකාරයි. අතෙහි ඇගිලි පස් ආකාරයක් ගන්නා සේ ඔවුන් විවිධ වූ අනන්යයතාවයන්ගෙන් ලෝකය අලංකාර කළා. එ නිසා ම ඔවුන් සියල්ලන් ම ලෝකයේ කොටස්කරුවන් බවට පත් වුනා. නමුත් ලෝකයේ ලස්සන එතරම් කාලයක් පැවතුනේ නැහැ.
‘කාලය‘ ද ලෝකය තුළ වාසය කළා. නමුත් ඔහු හැමෝගෙන් ම වෙන් වී තනිවමයි ජීවත් වුනේ.ඔහු සොබාදහමෙි දූ පුතුන්ට වෛර කළා. තමා බලවත් බවත්,තමාට ලෝකයේ පාලනය අවැසි බවත් කාලය නිරන්තරයෙන් සිතුවා. මිනිසා පිළිබදව කාලය නිතර සොයා බැලුවා. ඔහු සතු නුවණත් ,බුද්ධිමත්භාවයත් පිළිබද කාලය දැන සිටියා. ‘ඔහු ආකර්ෂණීය පුද්ගලයෙක්‘ කාලය කල්පනාවට වැටුනා. ‘මිනිසා ලවා මට අවැසි දේ ලබාගත හැකියි ,අවසානයේ ඔහු ද මට යටත් කරගත හැකියි‘. කාලය තම සැලසුම දියත් කිරීම ආරම්භ කළා. එතැන් පටන් ලෝකය වටා කිසිවෙකුටත් නොපෙෙනන ලෙස අදුරු දුමාරයක් පැතිරී ගියා.කාලය පළමුවතාවට මිනිසා අභියස පෙනී සිටියා. “මම කාලය,මට හැකි ද ඔබේ මිතුරෙක් වන්නට“කාලය විමසා සිටියා. “ඔව්,ඔබට හැකියි මගේ මිතුරෙක් වන්නට“. කාලය තමාගේ ළග ම මිතුරෙකු වීම පිළිබදව මිනිසා සතුටට පත් වුනා.
කාලය තමාගේ දුෂ්ට සැලසුමට අනුව වැඩ කටයුතු ඇරඔුවා. මිනිසා තමා වෙත නම්මා ගැනීමට නම් මුලින් ම ඔහුගේ මනසට විස පෙවිය යුතු බව කාලය දැන සිටියා. කිසිවෙකුටත් නොදැනෙන පරිදි,අඩුම මිනිසාටවත් නොදැනෙන පරිදි මිනිසාට විස පෙවීම කාලය විසින් සිදු කළා. “ඔබ ඔබෙි ජීවිතය පිළිබදවත්,ඔබගේ වටිනාකම පිළිබදවත් බොහෝ ම අල්ප ලෙසයි සිතන්නේ,ඔබට ඔබ ගැන අමතකයි. සිතන්න…ඔබෙි ජීවිතය බොහොම කෙටියි,ඔබට අවශ්‍යය කරන සියලු ම දේ ඔබ ඉක්මනින් ම ලබාගත යුතු යි,ඔබගේ ළග ම මිතුරෙකු නිසයි මා මෙය ඔබට කියන්නේ,ඔබෙි හැකියාවන්ගෙන් ඔබට අවශ්‍යය ඔීනම දෙයක් ලබා ගත හැකි බව මට විශ්වාසයි“. කාලය මිනිසාට විස පෙව්වා. කිසිදු වෙිදනාවකින් තොරවම කාලයාගේ විස මිනිසාගේ රුධිරය සමග මුසු වුනා. ඒ විස වෙිගයෙන් ඔහුසේ මනස කරා ගමන් කලා. “ඇත්තෙන් ම ඔව්,මට ඇත්තේ ඉතාම කෙටි ජීවිතයක්,මට සෑම දෙයක් ම ජය ගැනීමට අවශ්‍යයි,මා කුමක් ද කළ යුත්තේ ? “මිනිසා කාලයෙන් විමසුවා.
“ඔබට උවමනා නම් ලෝකය පවා පාලනය කළ හැකියි “.
“ලෝකය? නමුත් මගේ සහෝදර සහෝදරියන් එහි කොටස්කරුවන්“.
“ඔව්,නමුත් ඔබට ඔවුන් ව ලේසියෙන් ම අභිබවා යා හැකියි,ඔබ සතු බුද්ධියත් ඥානාන්විතභාවයත් ඔවුන්ට නැහැ,සිතන්න…ඔබට උදව් කිරීමට මම කැමතියි“
‘සැබවින් ම මා නොවෙ ද බුද්ධිමත්,දක්ෂ පුද්ගලයා,මම තනිවම ලොව පාලනය කළ යුතු යි,නිකමුන් පිරිසකට මෙි ලෝකයේ කොටස්කරුවන් විය නොහැකියි‘ මිනිසා කල්පනා කළා. “සැබවින් ම ඔබ යහපත් මිතුරෙක්“ මිනිසා කාලයට පැවසුවා. කාලය විසින් පෙවූ විස මුුළුමනින් ම මිනිසාගේ මනසට එක් වුනා. ඔහු බලලෝභයෙන් උඩගුකමින් උමතු වී ගියා.
එතැන් පටන් ඔහු තමන් හැදූ වැඩූ දෙමව්පියන් අමතක කළා. තම දෙමව්පියන්ගේ ම ලෙයින් මසින් උපන් සහෝදර සහෝදරියන් විනාශ මුඛයට ඇද දැමුවා. ලෝකය වටා පැතිරී තිබූ අදුරු සිහින් දුමාරය ඝන වෙමින් දෘෂ්යයමාන වන්නට පටන්ගත්තා. මිනිසා තමාගේ බලය ලෝකය පුරා විහිදුවාලීම ඇරඹුවා. විහගුන්,සිවුපාවුන් ආදී වූ මිනිසාගේ සහෝදරයින් තැන තැන මැරී වැටුනා. ඔවුන්ගේ රුධිරය මතින් මිනිසා නැගී සිටියා. ගංගා,ඇළ දොළ,වනවිල් යනා දී සහෝදරියන් මිනිසා විසින් ම දූෂණය කර දැමුවා. මෙි විපත බලා සිටීමට නොහැකි ව අසරණ මා පියන් හැඩූ කදුලු විටින් විට සාපයක් මෙන් මිනිසා බිද වූවා. ඒ සෑම විට ම කාලය තව තවත් මිනිසාට විෂපෙවූවා.
ඒ වනවිටත් සතුට,සැහැල්ලුව,ආදරය යන මිතුරන් මිනිසා හැරගොස් තිබුණා. කාලයාගේ කටයුතු දෙස බලාසිටිමින් විනෝද වූ තවත් කිහිපදෙනෙක් සිටියා. ඔවුන් ද මිතුරන් ලෙස ඉක්මනින් ම මිනිසාට ලං වුණා. මුදල්,අතෘප්තිය සහ අසතුට. නිතර ම ඔවුන් මිනිසා අසල ගැවසුනා. “අවසානයේ මම ලෝකය යටත් කර ගත්තා“. මිනිසා කාලයට පැවසුවා.“ ඔව්,ඔබ දැන් එය දිගටම පාලනය කළ යුතු යි“. මිනිසා කල්පනාවට වැටුනා.ඔහුට විඩාවක් හිස්බවක් තනිකමක් දැනුනා. එක්වරම මිනිසාට ඔහුගේ පැරණි මිතුරන් මතකයට නැගුනා. ආදරය, සැහැල්ලුව,සතුට! .
“ කාලය, මා මගේ පැරණි මිතුරන් සොයා යා යුතුයි“.
“ මමයි ඔබෙි සැබෑම මිතුරා, ඔබෙි කෙටි ජීවිතය වැඩකට නැති පිරිසක් වෙනුවෙන් අපතේ හරින්න මට ඉඩදෙන්න බැහැ, ඔබ ඔවුන් වෙත ගියොත් ඔබට ලෝකය පාලනය කිරීමට හැකි වෙි යයි මා සිතන්නේ නෑ“ කාලය මිනිසාට හරස් වුණා.
“ඔව්, ළගා කරගැනීමට තව බොහෝ දේ තිබෙනවා“. මිනිසාගේ මනසේ තිබූ කාලයාගේ විසෙන් මිනිසා අවපැහැගැන් වී ගියා.
අවසායේ ඔහුගේ බුද්ධියත් ඥානයත් කාලය අතට පත් වුනා. මිනිසා විසින් ලෝකයත්,කාලය විසින් මිනිසාත් පාලනය කිරීම ඇරඹුනා. ඒ අතර ලෝකය පුරා පැතිරී තිබුණු අදුරු දුමාරය වාතයට මුසු වුණා. එය ටිකෙන් ටික මිනිසාගේ හුස්ම හිරකිරීමට පටන් ගත්තා. ආදරය, සැහැල්ලුව,සතුට සම්පූර්ණයෙන් ම මිනිසාට අමතකව ගියා. මිනිසාගේ මතකය ටිකෙන් ටික දුර්වල වුණා. ඔහුගේ ඇසීම,පෙනීම පවා දුර්වල වුණා. අවසානයේ සැබෑවටම මිනිසාට මිනිසා අමතක වුණා. දැන් මිනිසාගේ මතකයේ ඇත්තේත්, ඇසට පෙනෙන්නේත්, කණට ඇසෙන්නේත් කාලය,මුදල්,අතෘප්තිය,අසතුට යන පුද්ගලයන්ගේ මතකයන්,ඡායාවන් හා විධි විධානයන් පමණි…!
Author – Ishara Chathurangi
Email – isharachathu99@gmail.com
Download – වහලෙක් – Ishara Chathurangi